බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, January 27, 2016

මරණ ගෙදර 03 කොටහ


දැන් ඉතිං ටිකක් වෙලා යනකොට කට්ටියගේ අර හවස හාලි ඇල්ලේ බාර්රෙකෙන් බීලා ආපු අරක්කු වල පවර්රෙක බහිනවා. දැන් ඉතිං ඔය එන ගමන් ඉනේ ගහන් ආපු කාලවල් බූරු කෙළිය යන අතර එලියට එනවා. “කරස්“ ගාලා මූඩිය ඇරලා “ගුඩුස්..ගුඩුස්“ කියලා අමුවෙම්ම කටේ හලාගන්නවා.

“ඒයි මටත් ටිකක්...“

“අඩේ මේකා තනියෙන් ගහනවා“

“වටේ එවපං“

“අඩෝ නැද්ද බං තව ඇබින්දක්වත්“

එක එකා මේක දැකල එක එක දේවල් කියෝනවා. ඒත් ඔය කාල වටේට තුන්දෙනෙක් ගාවට ගියාම කම්මුතුයි. තව එකෙක් ඉනේ ගහගත්තු කාලක් ඇදලා ගන්නවා. කොහොමත් ඕවා සාධාරණව බෙදිලා යන්නේ නෑ. දෙතුන් දෙනෙක්ට බඩු මදි වෙනවා. එතකොට උන්ට යකා වැහෙනවා.

“ඇයි අපිට නැද්ද? ආය නැද්ද බං...ඒයි සොට්ටෙකක්වත් නැද්ද?“

“කොහේ තියෙන්නද අරුන් උගුඩුවො වගේනේ ගැහුවේ“

“වරෙල්ලකෝ හෙට මා ගාවට කිතුල් රා හොයාගෙන තොපිට දෙන්නේ හුජ්ජ“

ඔය වගේ නෝක්කඩු බොන්ඩ නොලැබිච්ච එවුන් පැය ගණන් කියවනවා.ඔය අතරේ ගෙනාපු සිකරැටුත් ඉවර වෙනවා. සිකරැට් ගේන්න ගුණතිලක මාමා කඩේ අරින්නැති නිසා සිකරැට් බීමේ ආශාව අත ඇරලා ඉලත්තට්ටු වල තියෙන බීඩි ටික පත්තු කරගෙන කට්ටියම දුම් පිට කරනවා. බීඩි ගඳින් බූරු පොල පිරිල ඉතිරිලා යනවා.

ඔය අතරේ දන්සිරි අයියයි තව දෙතුන් දෙනෙකුයි පුටු තුන හතරක් මේස කෑල්ලක් ගාවින් තියාගෙන භාරදූර වැඩක් කරනවා. අපිට ඔය අහලකටවත් යන්න දෙන්නෑ. අපේ ආච්චි කියන ගංජා සුරුට්ටු එතිල්ල තමයි ඔතන වෙන්නේ.ඕකට එක එක වචන ගමේ ගොඩේ පාවිච්චි වෙනවා.

“මල් ඔතනවා“

“සූස්ති ඔතනවා“

“ගංජා සුරුට්ටු ඔතනවා“

“ජොයින්ට් ඔතනවා“

“ත්‍රෛයිලෝක පත්‍ර ඔතනවා“

ඔය වගේ වචන ව්‍යවහාරයේ තියෙනවා. මම ඉස්සෙල්ලාම ගංජා ගහක් දැක්කේ ගඟේදි. හැමදාම හවසට මාත්තෙක්ක ගඟට යන දන්සිරි අයියා හබරල කොලේකට වතුර එකක් පුරවගෙන ඇපල පඳුරු අස්සට නොපෙනී යනවා. එක දවසක් මමත් හොරෙන්ම දන්සිරි අයියා පස්සෙන් ගෑටුවා. මම දැක්කා එඬරු කොල වගේ කොල හැදිච්ච දන්සිරි අයියා විතර උසට හැදිච්ච ගහක්. මිනිහා ඒකට ගිහිං චොරෝස් ගාලා වතුර ටික හැලුවා. ඒ ගහ ගංජා කියලා දැනගත්තේ සමීරයගෙන්. ඔය ගංජා කොල මස් උයද්දි මස් එකට දැමීමක් ගැනත් මං අහල තියෙනවා.


ඉතිං ඔය ගංජා ඔතන හැටි අපිට බලන්න තහනම් වුනත් මිනිය තියෙන කාමරේ ජනෙල් පියන් උඩින් අපි හොරෙන් ඕක බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලම පාවට්ටා (ආඩතෝඩ) කොලයක් අරං අතින් හොඳට පිරිමැදලා පත්තර කෑල්ලක් අරං ඒකට ගිනිකූරක් ගහලා අර බත් බඳින්න කෙහෙල් කොල තවනවා වගේ පාවට්ටා කොලේ තවාගන්නවා. ඒකොල්ලා ගංජා කට්ටේ ඒ කියන්නේ ගංජා පැකට්ටෙක කඩලා කඩදාසියක් උඩට දාලා ඒකේ තියෙන ඇටයි කඳන් කෑලි ඒ කියන්නේ රොඩු ටික අහක්කරලා සිකරට් බාගෙක දුංකොල කඩලා ඒකට කලවම් කරනවා. දැන් ඒ මිශ්රනේ අර පාවට්ටා කොලේ උඩ තියලා කිටි කිටියේ තද කරලා කකුලේ තට්ටමකට තියලා රෝල් කරගන්නවා.පස්සේ බීඩියක් අරං ඒකේ ලේබලේ හීන් සීරුවේ උරුට්ටුව නොකැඩෙන්න ගලවගෙන බීඩියේ නූල් කෑල්ලත් ගලවගන්නවා. ඒකොල්ලා නූල් කෑල්ලෙන් ගංජා සුරුට්ටුවේ උඩින් ගැටයක් දාලා අර ලේබල් සිලින්ඩරේ උඩින් (බොන තැනින්) ටිකක් පහලට බස්සනවා. දැන් ගින්දර ගහලා පත්තු කරලා ඒක උරන ගමන් අර බූරු පොලට ගිහිං බොන බොන එකාගේ අතින් අතට යවනවා. හැම එකාම සොට්ටෙක ගානේ අදිනවා. තව රවුමක් ... තව රවුමක් වශයෙන් ඉවර වෙනකන් සුරුට්ටුව සංසරණය වෙනවා. සුරුට්ටුවේ මිශ්‍රණය දැල් වෙවී ගියත් අර පාවට්ටා කොලේ පත්තු වෙන්නෙ නෑ. 

බීඩි ගඳ යට කරගෙන ගංජා සුවඳ මුලු මරණ ගෙදර පුරාම පැතිරෙද්දි මුලු ගම්මානෙම නින්දට ගිහිං. බූරු නඩයයි..ඔට්ටු පෝලිමයි ... හිටගෙන නිදි කිරන අපියි ඇරුණාම...ඔය පාවට්ටා කොලේ හොයාගන්න බැරි වුනොත් බීඩියක් ගලවලා ඒකට පුරවලත් බොනවා. නැත්තන් බ්‍රිස්ටල් පැකැට්ටෙකේ ඊයම් කොලේ ගලවලා ඒකේ සුදු කොලෙත් ඕක ඔතනවා මම දැකලා තියෙනවා. ඕවා ඔතන්නත් හැමොටම බෑ. ඒකටත් පළපුරුද්ද තියෙන්ඩෝනි.ඔය වටේට සහයෝගෙන් යන නිසා මේකට ජොයින්ට් කියනවා වෙන්ඩත් පුලුවන්.  

ඕක බීලා විනාඩි දහයකින් පහලවකින් එක එකාගේ විකාර කියවිලි සමහර උන් තනියෙන් හිනාවිලි සමහර උන් එකම දෙයක් දිහා දිගටම බලා ඉඳිලි වගේ එක එක මනෝ විකාරයයන් දැකගන්න පුලුවන්. චූටප්පයියනම් කරන්නේ බූරු පොලේ උන්ට හිනා යන්න කතා සැපයීම. අන්න අහනවනන් රියල් විහිලු තියෙන්නේ චූටප්පගේ විහිලු වල. ඩිංගිරිබංඩෙ අයියගේ විහිලු මොනාද කියල හිතෙනවා එවුවා ඇහුවම.


දැන් මැදියම් රෑත් පහු වෙන වෙලාවට ගොඩාක් අය පැරදිලා මූණු ඇඹුල් කරගෙන සමහර එවුන් හූල්ල හූල්ල බූරු පොලෙන් නැගිටලා ගිහින් සමහර එවුන් ඔළුවට අත තියන් කල්පනා කරමින් ඉද්දි බූරු පොලේ සල්ලි දෙතුන් දෙනෙක් ලඟ ස්ථානගත වෙනවා.


“බරගානක් පැරදි බං“

“හෙට පොලී ගෙවන්ඩ තිබ්බ සල්ලිත් ඉවරයි.“

“ඔල්ලෝසුවත් උගස් තිබ්බා“

“හෙට වැඩත් නෑ. ගෙදෙට්ට කන්න දෙන්නේ කොහොමද?“

ඔය ඔය ආදී වශයෙන් එක එක ප්‍රශ්ණ මතක් වෙන්නේ ඔක්කොම සල්ලි ටික බූරු පොලට පූජා කෙරුවට පස්සේ තමයි.ඔය දිනන අයට තමන්ගාව තියෙන වටින බඩු භාණ්ඩ උගස් තියලත් ආය බූරු ගහන එවුමුත් ඉන්නවා. සමහරු ඉන්නවා දිනපු එවුන්ට කන්නලවු කරමින් සල්ලි හිඟාකමින් ආයෙත් බූරු ගහන්න හදන අය.


“මේක හොඳ සිටිසන් වොච්චෙකක්. ගල් උඩ මැෂිම දුවන්නේ. මේක අරන් කීයක් හරි දීපං. හෙට බේරගන්නම්“

“අනේ ඕක තියාගෙන හිටහං බං දැන් මැදැයි බූරු ගැහුවා“

දැන් දිනලා ඉන්න දෙතුන්දෙනා කැමති නෑ ආයෙත් බූරු කෙළිය දිග්ගස්සගෙන යන්න. බැරිම තැන කීයක් හරි දීලා ඒ ගානත් පරද්දලා බූරු පිටිය අහවර කරනකොට පාන්දර දෙක විතර වෙනවා.දැන් යන්න බස්සෙක්කුත් නැති නිසා දුර පැති වලින් ආපු බූරු කාරයෝ ඔය පැදුරු උඩටම වැටිලා බුදියගන්නවා. ලඟපාත එවුන් හිමින් හිමින් ගෙවල් වලට යනවා. දිනපු එකෙක් ඉන්නවනම් බුදියගන්නෑ. රෑ එළි වෙනකන් ඇහැරිලා සල්ලි සාක්කුව එක අතකින් වහගෙන විමසිල්ලෙන් ඉන්නවා. පහුවදා උදේ පාන්දර පැදුරටත් නොකියා කට්ටියම මාරු වෙලා යනවා.


පහුවදා ඉතින් ගෙදර ගෑණු බලද්දි සමහර එවුන්ගේ ඔරලෝසු නෑ. සමහර එවුන්ගේ මාල නෑ. සමහර එවුන්ගේ බ්‍රේස්ලට් නෑ. ඉතිං ගෑණු ආවේශ වෙනවා.

“කෝ ඔල්ලෝසුව“

“තිබ්බා“

“බූරු පොලේද? නොදකින් මම දැනගත්තා රෑ වෙනකොට බූරු පොලට රිංගලා ඇති කියලා. යකෝ ඔයිට වඩා නරකද ඔය සරමත් උගස් තියලා හෙලුවැල්ලෙන් ආවනම්. සල්ලිත් ඉවරෙටම ඉවර ඇති. දැන් අද පොලී එක්කහු කරන්න ආවම මට වෙන්නේ උන් එක්ක බුදියන්න. කාලකන්නි මිනිස්සු“

පැරදිලා ආවම ඔය ආකාරෙට තම මනුස්සයාට බැන වදින ගෑණුම හදිසියේ දිනලා ආවොත් බොහෝම කරුණාවෙන් දයාවෙන් චාටුවෙන් තම ස්වාමියාට සලකලා සාක්කුවෙන් සැලකිය යුතු කොටසක් අවශෝෂණය කරගෙන ටවුන් යනවා.. එතකොට බූරු ගැසීම නරකක් ලෙස ඒ ගෑණු දකින්නේ නෑ.පැරදිච්ච එවුන් කරන්නේ ඉර මුදුන් වෙනකන් බුදියගන්න එක තමයි.

පහුවෙන්දා උදේට ගමේම ගෑණු උදවිය පෝලිමට මළගෙදෙට්ට යනවා. ඒකට කියන්නේ

“මේ උයන්ඩ යනවා“ 

කියලා. පහුවදා තමයි ඔය එක එක දුර පළාත් වල ඉන්න නෑයෝ..නොනෑයෝ.. ගම්මු...පිටගම්මු  ඔක්කොම එන දවස. ඉතිං එදාට මළගෙදර තදබදේ ගොඩාක් වැඩියි. 

ඔය එන ඔක්කොටොම සංග්‍රහ කරන්නත් කන්න බොන්න උයන්නත් ගෑණු උදවිය කොච්චර හිටියත් මදි. මැරිච්ච කෙනා හරි පවුලේ උදවිය හරි ගමේ ජීවත්වුනේ සමාජශීලිවනම් අත් උදව්වට සෙනඟ ඕනි පදං. ඉතිං මිනිහෙක් ගමක ජීවත්වෙච්ච විදිය දැනගන්න පුලුවන් මරණ ගෙදෙට්ට එන සෙනඟෙන්.

“ඔවුන්ගේ මරනෙකට බල්ලෙක්වත් නැතිවෙනවා. බලපල්ලකෝ...“

ගමේ මුලුතැන්ගැන්විලා ජීවත්වෙන මිනිස්සුන්ට අපේ ආච්චි විතරක් නෙවෙයි අම්මත් ඔහොම කියනවා මම අහන් ඉඳලා තියෙනවා.දැන් කුස්සියෙයි කුස්සියට අල්ලලා ගහපු හට්ටෙකෙයි ගෑණු උදවිය පිරෙනවා. කට්ටියක් පොල් ගානවා...කට්ටියක් හාල් ගරනවා. කට්ටියක් ළූණු සුද්ද කරනවා.. කට්ටියක් කරවල කපනවා..කට්ටියක් එළවළු කපනවා...කට්ටියක් ලිපට පිඹිනවා... ඩිංගිරිබංඩෙ අයියත් කුස්සියට රිංගගෙන කතාවක් දෙකක් කියලා ඒකේ ඉන්න ගෑණු හිනස්සලා ආයේ හට් කෑල්ලට ගිහිං ඒකේ ඉන්න ගෑණුන්ටත් හිනාවෙන්න ඔය මොකක් හරි කියනවා.ගෑණූ බක බක ගාලා හිනාවෙනවා.

“යකෝ මරණ ගෙදරක් ... හිමීට හිනාවෙයල්ලා...පිට මිනිස්සුත් ඇවිල්ලා ඉන්නේ“

තව ගෑණියක් ඔහොම කිව්වට එවෙලෙට සද්දෙ අඩු වුනාට ආයේ ටික වෙලාවකින් කැකිරි පැලිල්ල පටන්ගන්නවා.උදේ අට නමය වෙද්දි සෙනඟ එන්න පටන් ගන්නවා. දැන් ආයෙත් බාරොන් මාමලා නැන්දා ඇන්ජිම ස්ටාට් කරනවා.

“හයියෝ ඇයි මාව දාලා ගියේ...මාවත් අරං යන්ඩ එපැයි“ 

ආදී වසයෙන් කියමින් අඬා වැලපෙනවා.

දැන් ඔය එන මිනිස්සු හිස් අතින් එන්නෑ. මාරි පෙට්ටි...සීනි ..තේකොල..එළවළු..බුලත්...කෝඩියල් බෝතල් වගේ මළ ගෙදරකට අවශ්‍ය දේවල් අරං ඇවිල්ලා බාරොන් මාමලා නැන්දට වැඳලා උන්දැව අවුස්සලා ඔය ඒ අහල පහල ඉන්න පාර්සල් බාර ගන්න කෙනාට පාර්සලේ දීලා මිනියට වැඳලා එළියට ගිහිං ඉඳගෙන ඉලත්තට්ටුවට කුරුමානම් අල්ලනවා. පාර්සලේ ගත්ත කෙනා ඒ අහලම තියෙන පාර්සල් දාන්න වෙන් කරලා තියෙන කාමරෙන් ඕක තියලා එනවා. ඒ එනකොට තව පාර්සලයක්..ආය එනකොට තව පාර්සලයක්...ආය..ආය..ආය... කාමරේ මේස අල්මාරි පුටු ආදිය මදි වුනොත් යූරියා බෑක් එලලා බිමත් පාර්සල් අඩුක් කරනවා.

අපි ඔය එන කට්ටියට මාරි ඇල්ලීම කොඩියල් ඇල්ලීම ඉලත්තට්ටුවේ අඩුපාඩු බැලීම වගේ වැඩ සුවෙච්චාවෙන්ම බාරගන්නවා. ඕවා අල්ලන ගමන් කෝඩියල් වීදුරු තුන හතරක් ගුඩුස්..ගුඩුස් කියලා කටේ හලාගැනීමත් මාරි බිස්කට් අහුරු තුන හතරක් සාක්කුවේ ඔබාගැනීමත් අපේ සම්ප්‍රදායක්.ඔය අතරේ මඩුකොටන් අරාවේ නෑදෑ වෙන මහතුන් අයියා එනවා.එළවළු යූරියා බෑක්කෙක කුස්සියට දීලා අනික් බෑක්කෙක අරං කාමරේකට වැදෙනවා.  ටිලිං..ටිලිං..සද්දේ බෑක් වලින් ඇහෙනවා. ඒ කියන්නේ අරන් එන අරක්කු බෝතල් එකිනෙක ගැටෙන සද්දේ.

(මේ කතාවත් මරණයක් වගේ ඇදෙනවා. අන්තිම දවස ඒ කියන්නේ හෙට දවස ගැනත් ලියවෙන අන්තිම කොටහෙන් හම්බුවෙමු.) 

Saturday, January 23, 2016

මරණ ගෙදර - 02

දැන් මරණෙ එහෙමත් නැත්තන් මිනී පෙට්ටිය සාලේ කලින් හදාගත්තු ආධාරක උඩින් හිමින් සීරුවේ තියනවා. ඒකොල්ලා හිමීන් හිමින් පෙට්ටියේ පියන විවෘත කරනවා. බාරොන් මාමගේ මූණ දැකපු ගමන් බාරොන් මාමලෑ නැන්දා දුවලා පුතාල පවුලේ උදවිය විතරක් නෙවෙයි ගමේ ගෑණු උදවියත් එක්කහු වෙලා මර ලතෝනි දෙනවා. ඕක විනාඩි දහයක් විතර ඇදි ඇදී යනවා. සේසත් ටික බිත්තියට හේත්තු වෙනවා. බාරොන් මාමගේ ඉහට උඩින් පිත්තල පහන් දෙක දැල්වෙන්ඩ පටන්ගන්නවා. දැන් ඔක්කොමලා යතා තත්වෙට පත් වෙනවා.
දැන් මරණෙ ගෙනාපු ආරංචිය කටින් කට තුඩින් තුඩ ගමේ උඩහ පහල ඊයක වේගෙන් ගමන් කරනවා. මේක දැනගත්තු ගමේ උදවිය එකා දෙන්නා ආයෙත් මරණ ගෙදරට ඇදෙනවා. ඒ ගමනට කියන්නෙ “මේ මරණෙ බලන්න යනවා“ කියලා.
මේ පලාතේ ඒ කියන්නේ ගම්පහදි මරණ ගෙදර කන්ඩ දෙන්ඩ ඕනි බත් මාළු පිණි අහල පහල ගෙවල්වලින් ගෙන ඒමේ චාරිත්‍රයක් මම දැක්කත් එහේ එහෙම නෑ. උයන්නේ මරණ ගෙදරම තමයි. කුස්සියේ ඉඩපාඩු මදි වුනොත් එළියට කරලා හට්ටෙකක් ගහනවා.
අර බාරොන් මාමලා නැන්දා ටවුන් යවපු කෙනා බඩුත් ඩෙලිකා වෑන්නෙක්ක පටවගෙන එනවා. අපි ගිහිල්ලා ඒ බඩු ගෙදෙට්ට අදින්න උදව් වෙනවා. ඉතිං ඊට පස්සෙ අපිට පැවරෙන රාජකාරිය තමයි ඉලත්තට්ටුව හදන්න පුවක් කපන එක. පුවක් කපන්න හොඳ ගිරයක් දෙකක් තියෙන්න ඕනි. නැත්තන් අහල පහල ගෙවල්වලින් ගිරයක් ඉල්ලගෙන එන්න ඕනි. පරිස්සමින් ආපහු ගෙනත් දීමේ පොරොන්දුව පිට අදාල ගෙවල් වලින් ගිර නිකුත් කරනවා. මේ සතියම මළගෙදරින් විට සපයා ගන්න පුළුවන් නිසා ඔය ගෙවල් වලට ගිර වල උවමනාව දැනෙන්නෙ නෑ. දැන් දැන් ගොඩාක් මළගෙවල් වල පුවක් නොකපා ගිරය සමඟ ලෙලි පිටින් පුවක් තියන ක්‍රමයක් අනුගමනය කරන්නේ ඔය අසීමිතව විට හපන එකෙන් ජනතාව මුදවගන්ඩ වෙන්ඩ ඇති. ඒත් ඉස්සර මිනිස්සු එහෙම නෑ.


අපි කොහොමත් පුවක් ගෙඩි විස්සක් තිහක් කපලා දැම්මත් විනාඩියෙන් දෙකෙන් ඔය පුවක් ටික අතුරුදහන් වෙනවා. එතකොට අපේ ගමේ මිනිස්සු විට කෑමේ සම්බාවිතාව ගැන දල අදහසක් ගන්ට පුළුවන්. අපි රෑ එක දෙක වෙනකන් පුවක් යූරියා බෑක් බාගයක් විතර කපනවා. සමහරු ගෙදර යන ගමන් විට දෙක තුනක් උන්ඩි කරගෙන යන එකත් වලක්කන්ඩ බෑ. මළ ගෙදෙට්ට අවශ්‍ය පුවක් ගමේ වතු පිටි වලින් නිකන් ලැබුනත් දුංකොල බුලත් නිතරම හාලිඇල්ලෙන් ගෙන්න ගන්න ඕනි. මොනා නැතත් ගමේ මිනිස්සුන්ට ඔය විට ඉලත්තට්ටුව තියෙන්න ඕනි. නැත්තන් නෝක්කඩු සීයයි.


“නොදකින් ඕක මරණ ගෙදරක්ද. බුලත් විටක්කත් නෑ“

අපේ ආච්චි සමහර මළ ගෙවල්වල ගිහින් ඇවිත් කියනවා මට ඇහිල තියෙනවා.ඉතිං පහුවදා උදේ බාරොන් මාමලගේ නැන්දා ඇතුලු පවුලේ උදවිය කලින්දා රෑ විට කාපු එවුන්ගේ පරම්පරා ගානක් මතක් කරමින් උදළු වලින් මිදුල හූරනවා. පහුවෙන්දා මිදුල ඉතිං බතික් කරලා වගේ තමයි. විට කාලා “චොරෝස්“ ගාලා මිදුලටම කෙල ගහන එක සිරිතක් වෙලා. කොච්චර පඩික්කම් හිටෙව්වත් ඒක පුරුද්ද. මල් පාත්ති වල මල් ගස් ටිකත් බතික් කරලා.


රෑ අඳුරු වැටෙනකොට ගමේ බේබදු සංගමේ හාලිඇල්ලේ බාර්රෙකට ගිහිල්ලා බීලා අන්තිම බස්සෙකේ ඒ කියන්නේ හතයි හතලිස්පහේ එනවා. ඔය හතයි හතලිස්පහේ බස්සෙකට ගමේ මිනිස්සු කියන්නේ බේබදු බස්සෙක කියලා. ඒ කියන්නේ අපේ ගමේ විතරක් නෙවෙයි උඩහ ගම්වලත් වතුවල දෙමල මිනිස්සුත් හාලි ඇල්ලට ගිහිල්ලා පදම් වෙලා ගෙදර එන්න නගින්නේ ඔය බස්සෙකට. ඔය බස්සෙක වලි බලි වලට එහෙමත් හරි ප්‍රසිද්ධයි.
බීලා ඇවිල්ලා කට්ටියම ඔය උළු ගෙදෙට්ට උඩින් තියෙන ගල ගාව බැහැලා සිංදු කියනවා.ඒ කියන ගමන්


“අඩෝ කවුද ඩෝ මේ ගමේ වලිකාරයෝ . වරෙල්ලා ඩෝ“ 

කියලා ගමේ මිනිස්සුන්ට අභියෝග කරනවා.. ඒත් කවදාවත් ඔය වලි කාරයන්ට අඬගැහුවට වලිකාරයෙක්නම් අභියෝගේ බාර ගන්න ගිහිං නෑ. ඕක හැමදාම ඔය ගල ගාව වෙන දෙයක්. අප්පයියා හැමදාම

“සැඳෑ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ...“ 

කියන සිංදුවෙන් සංගීත සාජ්ජේ ඉවර කරනවා. වෙරි හිඳුනම කට්ටියම ගෙවල් වලට යනවා.


ඉතිං මරණ ගෙයක් වෙලා තිබ්බොත් ඔය ඔක්කොම මරණ ගෙදර ගාවින් බැහැගන්නවා. එදාට සංගීත සාජ්ජේ නෑ.එනකොට බූරු කුට්ටම් හතර පහකුත් අරං එන්ඩ මේ අය අමතක කරන්නෑ. ඉතිං කට්ටියම උඩහට ඇවිල්ලා දාඩිය පෙරාගෙන බාරොන් මාමල නැන්දට වැඳලා ඉඳගන්නවා.

“පුතේ තේ ටිකක්...................?“

“එපා නැන්දා අපි බීලා ආවේ“

බාරොන් මාමල නැන්දා දන්නවා මුන් බීලා ආවෙ තේනම් නෙවෙයි කියලා.

දැන් ඉතිං කට්ටිය කෙරෙන්ඩ තියෙන වැඩ හොයනවා.

“පුතේ අර කුස්සියට කල්ලා හට් කෑල්ලක්.................“

“හරි නැන්දා.............ඒයි වරෙල්ලා මේ හට්ටෙක ගහන්න.......“


ඔය වැඩ වලදි පෙරමුණ ගන්නේ දන්සිරි අයියා.

ඔය අතරේ ඩිංගිරිබංඩේ අයියත් එනවා. ඩිංගිරිබංඩේ අයියා ප්‍රසිද්ධ කුස්සියේ උයන ගෑණුන්ට හිනා වෙන්න කතා කියන්න, එක එක ඕපදූප කෑලි කියවන ගමන් ගෑණුන්ට පොල් ගාලා දෙන්න ලූණු සුද්ද කරලා දෙන වගේ වැඩ වලට. ඩිංගිරිබංඩෙ අයියගේ කතා වලට ගෑණු බක බක ගාලා හිනා වුනත් අපිටනම් ඒවයෙ හිනා වෙන්න තරම් දෙයක් නෑ.
ඩිංගිරි බංඩෙ අයියව තියාගන්න ඕනිවට හිනා නොයන කතා වලටත් ගෑණු බොරුවට හරි හිනා වෙනවා.

පිස්සු ආරිත් එනවා. පිස්සු ආරි කියන්නේ ටිකක් ඔළුව අවුල් මනුස්සයෙක්. ගමේ මළ ගෙයක් වුන දවසෙ ඉඳන් හත් දවසෙ දානේ ඉවර වෙනකන් පිස්සු ආරි නෙවෙයි හෙල්ලෙන්නේ. මළ ගෙදර කිසිම වැඩක් පොලක් කරන්නෙත් නෑ. විට කනවා...බීඩි බොනවා...මාරි කනවා..තේ බොනවා...බත් කනවා...විට කනවා...බීඩි බොනවා...බුදියගන්නවා ..... පිස්සු ආරිගේ මළගෙදර ජීවන චක්කරේ ඔහොමයි. කාත් එක්කවත් කතාවක් බහකුත් නෑ.. කවුරුත් මොකවත් කියන්නෙත් නෑ.


තවත් සමහරු ඉන්නවා අපේ ගමේ ඔය ඊයේ පෙරේදා පිනෑන්ස් කරලා ගත්ත වෑන්නෙකේ හරි කාර් කබලක හරි නැගලා ඔය අඩි දහය පහලවක් ඇවිල්ලා මරණ ගෙදර ගාව පාරේ වාහනේ නවත්තලා උජාරුවට ඇවිත් වාඩිවෙලා පංපෝරි ගහන අය. ලංකාවේ වැඩියෙන්ම පංපෝරි ගහන මිනිස්සු ඉන්නේ බදුල්ල දිස්තිරික්කේ වෙන්න ඇති. ඒකෙමුත් වැඩිම අපේ ගමේ වෙන්ඩ ඇති. පංපෝරි ගැන වෙනම කතාවක් ලියන්ඩ පුළුවන්. ඔය මිනිස්සු මළගෙවල් වලට සත පහක වැඩක් නැති මිනිස්සු. නිකන් අර පෙනීහිටලා යන්න එන අය. මළ ගෙදෙට්ටත් ඇවිල්ලා තමාගේ වාහනේ තමාගේ දුව.. පුතා ...කරන රස්සාවල්...ඉගෙනගෙකන තියෙන ප්‍රමාණය.. තමන්ගේ සහෝදරයෝ ඉන්න තත්වෙ ගැන කවුරු හරි අල්ලගෙන පංපෝරි ගගහ ඉන්නවා. විඩින් විඩේ හැරි හැරී බලනවා තමන්ගේ පංපෝරිය අනුන්ටත් ඇහෙනවද කියලා. නැත්තන් තව ටිකක් සද්දෙ වැඩි කරලා පංපොරිය කියෝගෙන යනවා.
“නෙදකින් අරූ ඊයේ රෑ උගේ මහලොකු දෝණියන්ද ගැන පංපෝරි ගගහ උන්නෙ. මං ගිය මාසෙ පිංපඩි ගන්ඩ ගිහින් බස්සෙකේ එද්දි ඕකි කොල්ලෙක්ගෙ කරේ ආවේ බස්සෙකේ. අනික ඕකගේ ගෑණි හරිහමන් ගෑණියෙක්ද? ගඟේ ඇපල පඳුරු වලට කතා කරන්න පුළුවන්නම් ඕකගේ ගෑණියි අර සේකරයයි නටපු නැටිලි ගැන හොඳට කියයි. මගේ කට නලියෑවා. මළ ගෙදර හින්දා ඉවසුවා“

පහුවදා අපේ ආච්චි උන්ගේ සායම යවන්නේ ඔය විදියට.


දැන් ඉතිං හට්ටෙකේ වැඩේ ඉවරවෙද්දි රෑ දහය විතර වෙනවා. ඒ වෙනකොට අහල පහල ගම් වලත් බූරුවා ගහන්ඩ නම් දරාපු උදවිය ඇවිත් දතකට මැදගෙන ජර්සි ඇඳගෙන රෙදි පොරවගෙන බලාගෙන ඉන්නවා බූරු කෙළිය පටන්ගන්නකන්. මේ උදවියට මරණෙ ගැන වගක්කත් නෑ. මැරිල ඉන්නෙ කවුද කියල අදාලත් නෑ. ඕනි වෙන්නේ මරණ ගෙදරක් විතරයි. සමහරු ඉන්නවා ඈත ගම් පළාත් වල ඉඳල බූරු ගහන්නම ආපු උදවිය. මරණ ගෙයක් ඇති තැන හතර පස් දවසක් නොකඩවා රෑට මේ උදවිය ඇවිත් ආපහු යන්නේ උදේ පාන්දර. ඒ අයට කියන්නේ මිනිය මුර කරන කට්ටිය කියලා. බූරුවා නඩේ කියනවනම් මං කවදාවත් අහලා නෑ.

ලඟදි දවසක් සුවර්ණවාහිනියේ බණක් බලද්දි ඒ හාන්දුරුවෝ කිව්වා


“මම ලඟදි බදුල්ල පැත්තෙ මළ ගෙදරක ගියා. අපි යද්දි රෑ එකොලහ දොලහ වුනා. කන්දක් බැහැගෙන ගියේ. යද්දි මළ ගෙදර මිනී පෙට්ටිය යටත් මිනිස්සු බුරු ගහනවා. හාන්දුරුවො කෙනෙක් ආවා කියලා ගානක්වත් නෑ. ඔහේ බූරු ගහනවා"


මේ බණ කියද්දිත් මට මතක් වුනේ අපේ ගම. හාන්දුරුවො වැඩියේ අපේ ගමේ මළ ගෙදට්ටකද මන්දා.

දැන් ඉතිං රෑ දහය දහයමාර වෙනකොට මල ගෙදෙට්ට ආපු ගොඩාක් අය ගිහිල්ලා. බාරොන් මාමලා නැන්දටත් උදේ හිටන් මොරදීලා මහන්සියටත්තෙක්ක නින්දට ගිහුං. පවුලේ උදවියත් නිදි. දැන් මළගෙදර පාලන බලය බූරු නඩය අතට පත්වෙනවා.
පැදුරු අරගෙන මිදුලේ තැන් තැන්වල පැදුරු දෙක තුනක් එලනවා. ඒ පැදුරක වටේට හය හත්දෙනෙක් ඉඳගන්නවා. එළිය මදිනම් තව වයර්රෙකක් ඇදලා බල්බ්බෙකක් දාගන්නවා.
දැන් ඔට්ටු අල්ලන කට්ටිය හැම පැදුරකම වටේට හිටගෙන ඉන්නවා. කොලේ කපන කට්ටිය එහෙමත් නැත්තන් බූරුවා ගහන කට්ටිය තමයි ඉඳගෙන ඉන්නේ. තවත් කට්ටියක් ඉන්නවා හිටගෙන. ඒ අපි වගේ බූරුවා ගහන දිහා කට ඇරගෙන බලන් ඉන්න අය. බූරුවා ගැසීම...ඔට්ටු ඇල්ලීම වගේම බලා ඉඳීමත් නීති විරෝධී වුනත් මගේ ජීවිත කාලෙම මළගෙදරක බූරුවා පිටි වලට පොලීසියෙන් පැන්න ප්‍රවෘත්තියක්නං  අහලා නෑ. මළ ගෙදර හින්දා පොලීසිය ඉවසනවා ඇති. ඔය හැම බූරු පැදුරකම බූරු කප්පිත්තෙකුත් ඉඳගන්නවා. මිනිහා කොහෙන් දැම්මත් ඔය කුට්ටමේ කොල පනස් දෙකම හොඳට අඳුරනවා.
අපේ ගමේ බූරු කප්පිත්තා තමයි හුදුහාමි මාමා. බූරු පැදුරට මිනිහා එද්දි බූරු පැදුරේ අනිත් අය තිගැස්සිලා යනවා. ඒ මොන බූරු කප්පිත්තෙක් වුනත් කුට්ටමේ කොල මිනිහටත් එරෙහි වෙන දවස් ඕනි තරම් තියෙනවා. ඉස්සෙල්ලම කාඩ් පැක්කෙක පැදුරට දානවා. පැදුරට කාඩ් පැක්කෙක දාන කෙනාට තමයි නීතියෙන් තෝන් අයිතිය තියෙන්නේ. තෝන් කියන්නේ පිට පිට තුන් වතාවක් කවුරු හරි දිනුවොත් තෝං බෝතලේට කොමිසන් එකක් දාන්න ඕනි. ඒක යන්නේ කාඩ් පැක්කෙක අයිති එක්කෙනාට. දැන් කවුරුත් බූරු කුට්ටමට වැඳලා වැඩේ පටන්ගන්වා. දැන් ප්‍රස්නයක් එනවා කවුද ඉස්සෙල්ලම ගහන්නේ කියලා. ඒකට කුට්ටම අරං වටයක් බෙදාගෙන යනවා. මුලින්ම ලොකුම කොලේ ඒ කියන්නේ ආසියා හම්බුවෙන කෙනා කුට්ටම අනනවා. ඊගාවට ඊගාව ආසියා හම්බුවෙන කෙනා කුට්ටම කපනවා. ඒ කියන්නේ කොලේ ඉල්ලනවා.දැන් ඉතිං වටේ කට්ටිය ඔට්ටු අල්ලනවා.

“මේ පනහ කුට්ටම දිනුම්“

“මේ සීය කුට්ටම දිනුම්“

“ආ කුට්ටම පැරදි“


කුට්ටම කියන්නේ කොලේ බෙදන කෙනා . එහෙම නැත්තන් කුට්ටම අනපු කෙනා. ඉතිං දැන් මළ ගෙදර අර සක්කිලි පඩි ගත්තා වගේ මහා ඝෝෂාවකින් රැව් පිලි රැව් දෙනවා. බූරු පොල නැගලා යනවා කියන්නේ ඔය සද්දේ වැඩි වුනාම තමයි.

(මරණෙ දවස් තුනක් තියාගන්ඩ තීරණය කරපු නිසා කතාව තවත් දිග්ගැහෙයි. තුන්වෙනි කොටසින් හම්බුවෙමු)

Tuesday, January 19, 2016

මරණ ගෙදර 01

“ඒයි..........

“ඒයි.............“

“ඒයි.....................“

උඩවෙල පුංචි උදේ පාන්දර පාරට ඇවිල්ලා කෑ ගහනවා.

“ඇයි උඩවෙල?????“

“බාරොන් අයියා මැරිලලු බන්“

“නැහ්.... මොකද බං මේ පෝලිමේ මැරෙන්නේ. දැන් ඉතිං මරණ සමිතියට තවත් එකසිය පනහක් හොයපල්ලකෝ“

“ඒක තමයි බං.. පව් නේද බාරොන් අයියා“

“වරෙන් කහට එකක්කත් බීලා යන්න“

“බෑ බං වැඩ. තව උදේට ඉව්වෙවත් නෑ“

කිය කිය උඩවෙල පුංචි හෙමින් හෙමින් පඩිපෙල බැහැගෙන එනවා.

දැන් ඉතිං බාරොන් මාමගේ අල ගිය මුල ගිය තැන් උන්දැගේ කවදාවත් නොතිබිච්ච ගුණධර්ම අපේ කුස්සියේ කතිකා වෙනවා. නිවාඩු මාසේ ගෙදෙට්ට වෙලා ඉන්න අපිත් ඉතිං මළගෙදර රාත්‍රීන් ගතකිරීමේ කුහුලෙන් පහු වෙනවා.උඩවෙල පුංචිට කහට කෝප්පයක් වක්කරල දීලා අම්මා මිදුලට බැහැලා උළු ගෙදර දිහා බලාගෙන

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“ 

කියලා කෑගහනවා.

“ඇයි නැන්දා“

“බාරොන් මල්ලි මැරිලලු“

“නෑ.....?“

ඉතිං ඔහොම මරණෙ ගැන ආරංචිය ගමේ උඩහටයි පහලටයි තටු ඇවිල්ලා ඉගිලෙනවා. පැයක් දෙකක් යද්දි මරණෙ ගැන ගමම දැනගන්නවා.

“නෑ මිනිය ගෙනල්ලලුද?““කොහෙද .. අද හවසවත් වෙයි මිනිය කපලා ගේනකුට“

ඉතිං මිනිය ගෙනාවත් නැතත් මිනිස්සු එකා දෙන්නා බාරොන් මාමලාගේ ගෙදර දිහාවට හිමීට හිමීට ඇදෙනවා. අපේ අම්මයි උඩවෙල පුංචියිත් පඩිපෙල නැගං නැගං බාරොන් මාමලා ගෙදර යන්න පිටත් වෙද්දි අපිත් එකා දෙන්නා වසයෙන් අම්මලගේ පස්සෙන් වැටෙනවා.

“පලයල්ලා ගෙදර යන්න. උඹලට කවුද එන්න කිව්වේ. ගෙදර බල්ලෙක්වත් නෑ.මම කියලා තියෙනවා මගේ පස්සෙන් රෝන්දෙ යන්න එන්ඩ එපා කියලා“ 

අම්මා අපිව එළවගන්නවා.

“ගෙදර ගිහිං ආච්චිට කියපං. උන්දට කියන්න අමතක වුනා.“

අපේ ගමන එතනම ලොප් කරගෙන අපි ආපහු ගෙදෙට්ට එනවා.ආච්චි සීතලේ වකුටු වෙලා තාම මර නින්දේ පහු වෙනවා.


“ආච්චී....ආච්චී...ආච්චී...“

“මොකද බොලව් ඩිංගක් ඇහැ පියාගන්ඩ දියල්ලකෝ. “

“ආච්චි බාරොන් මාමා මැරිලලු“

“මොනා.... ගහක් ගලක් වගේ හිටිය මිනිහා. මට ගිය සතියෙත් කොන්දෙ කැක්කුමට ගාන්න තෙල් ටිකක් ගෙනත් දුන්නා. උඹලට විකාර“

“නෑ අම්මා කියන්ඩ කියව්වා . අර මිනිස්සු ඔක්කොම යන්නේ මරණ ගෙදර“

ආච්චි ඇඳෙන් බැහැලා ඇඟ පුරාම පොරවගෙන එළියට බැහැලා පාර දිහා බලාගෙන ඉන්නවා. මිනිස්සු එකා දෙන්නා පහලට ඇදෙද්දි තමයි උන්දැ සැක හැරලා දැනගන්නේ බාරොන් මාමා මැරිලා කියලා. ඒත් උන්දැට තවත් හැකයි.

“මේ මාටින්ගේ දුවේ. ඇත්තද බං බාරොන් මැරිලා කියන්නේ“

“ඔව් ආච්චම්මේ. අපිත් එහේ යන්නේ. එනවද?“

“ඉඳහං මං රෙද්දක් පටලන් එනකන්“ආච්චි ගෙට ගිහින් ඇඟේ චීත්තෙකුත් පටලන් කබ කඩ කඩ විටකුත් කටේ ඔබාගෙන පඩිපෙල නගිනවා.ඉතිං අපේ පැත්තේ ඔය මළ ගෙදෙට්ට කියන්නේ මරණ ගෙදර කියලා.


“මේ මරණ ගෙදර යනවා.“කියලා තමයි කියන්නේ.


ඉතිං අපිට ඔය මරණ ගෙදර යන්න අවස්ථාව හම්බුවෙන්නේ අපේ අම්මලා මරණ ගෙදර ගිහිං ආවට පස්සෙ තමයි. ඉතිං ඕකට අම්මගෙන් අවසරය ලැබෙන්න අම්මා ගාව තුන් හතර පාරක් වැඳ වැටෙන්න ඕනි. පස්සේ උක්කුවයි සමීරයයි තව ඔය මඟ හම්බුවෙන කවුරු කවුරුත් අහුලගෙන මළ ගෙදර යන්න ඕනි. මරණ ගෙදෙට්ට ඔහොම්ම පාර දිගේ කිලෝමීටරයක් විතර පල්ලැහැට ගිහින් පඩිපෙල දිගේ උඩහට නගින්න ඕනි. ගමේ ලොකු උදවිය එද්දි මහ හයියෙන් කෑගහලා අඬන බාරොන් මාමලගේ නැන්දා පොඩි පොඩි අපි වගේ උදවිය එද්දි ගානක්වත් නැතුන් ඉන්නවා. ඔය පවුලේ කට්ටියත් ලොකු උදවියට වැඳලා ගෙට ගත්තත් අපි දිහා බලන්නෙවත් නැත්තේ මාරි බිස්කට් ටිකට කෙලින්ඩ එනවා කියලා දන්න හින්දද නැත්තන් අපි වගේ උදවියගෙන් ඇති වගතුවක් නැති හින්දද කියලනම් දන්නෙ නෑ.ඉතිං තාම මරණෙ ගෙනැල්ල නැති නිසා ගමේ මිනිස්සු එකා දෙන්නා ඇවිල්ලා බාරොන් මාමලෑ නැන්දව අස්වස්සලා යනවා. අස්වස්සනවා කිව්වට ගමේ මිනිස්සු එන එකෙන් වෙන්නේ උන්දැව ඇයිස්සෙන එක. ඇයි ඉතිං ඔය එන එන වාරයක් ගානේ අර කන්දට ඇහෙන්න තරම් හයියෙන් උන්දැ මොර දෙන්නත් එපැයි. මරණෙ ගේන්න කලින් ඇවිල්ලා යනවට කියන්නේ “කතාකරලා එන්ඩ යනවා“ කියලා. ඕකට “අවුස්සලා එන්ඩ යනවා“ කියලා දැම්මනම් පංකාදුයි.

ඉතිං දැන් ගමේ ඔය පිරිමි කාණ්ඩෙ එකතු වෙලා වත්ත පිටිය සුද්ද කිරීම හට්ටෙක ගහන්ඩ තැනක් පිළියෙල කිරීම පඩිපෙල එළිය කරන්න ලයිට් වයර් ඇදීම මරණ සමිතියේ හට්ටෙක සහ පුටු ගෙන ඒම වගේ විවිධ වැඩ සුවෙච්චාවෙන්ම කරනවා. අපිත් ඔය කාගේ හරි පස්සේ වැටිලා ඒ උදවියගේ අත් උදව් කාරයන් විදියට බලහත්කාරයෙන්ම පත් වෙනවා.

“චූටි ගිහිං හෝල්ඩර්රෙකක් ඉල්ලන් වරෙන්“

“චූටි ගිහිං ඉලත්තට්ටුව අරං වරෙන්“

“චූටි ගිහිං මල් ඉස්කුරුප්පැනියක් හොයං වරෙන්“

ඔය වගේ වචන පේලි අපේ දෙසවන්වල දෝංකාර දෙනවා. ඔය අතරේ පාරට ඇහැ තියාගෙන ඉන්නවා මරණෙ ගේනකන්.මරණයක් වෙච්ච ගමන් ගෙදර උදවියටත් කලින් දැනගන්නේ හාලිඇල්ලෙ වජිර මල් ශාලාවෙ මුදලාලි. ලෙඩා ඉස්පිරිතාලෙට ගියදා පටන් අමාරු වෙලා මෝචරියට යනකන් එයාව දැනුවත් කරන සන්නිවේදන බලකායක් ඉස්පිරිතාලේ පිහිටවලා ඉන්නවා. ඒ තමයි ආණ්ඩුවෙමුත් පඩි ගන්න ඇටෙන්ඩන්ලා. මිනී ගානට කොමිසන් එකක් එයාලයි සාක්කුවට වැටෙන බවයි මන්නන් අහලා තියෙන්නේ. 

ඇහිල්ලක් බැලිල්ලක් නැතුව බලහත්කාරෙන් වගේ සුටුස් ගාලා මල් ශාලාවෙ වෑන්නෙකේ පටවලා සේසත්...පිත්තල පහන් ...දෙන වගේ බඩු මුට්ටු ඔක්කොම ගෙදෙට්ට එවනවා. ඒ කියන්නේ අවමංගල අධ්‍යක්ෂධූරය බලහත්කාරෙන් පවරගන්නවා. ගනන් හිලව් මොකවත් කතා කරන්නෑ. හරියට නිකන් කරල දෙනවා වගේ. ගනන් හිලව් කතා කරන්නේ මිනිය වැලලුවටත් පස්සෙ තමයි. අවමංගල අධ්‍යක්ෂවරුන්ගේ සේවය ඒ තරම් කඩිනම්. අර සිකුරාදා හවසට වෙළඳපොලට එන ඉරිදා පත්තර වගේ.

ඉතිං මරණ සමිතියේ භාණ්ඩාගාරික තැම්පත් ආරි අයියා මරණ සමිතියේ අරමුදලත් අරං ඇවිල්ලා බාරොන් මාමලගේ නැන්දාගේ අතේ ගුලිකරනවා. බාරොන් මාමලා නැන්දා දිග ලිස්ට්ටෙකක් ලියලා සල්ලිත් දීලා කාව හරි පිටත් කරල අරිනවා ටවුමට. එන එවුන්ට කන්න බොන්න දෙන්නත් එපැයි. හාල්, පොල්, පරිප්පු, සීනි, තේකොල, බුලත්, පුවක්, බීඩි ,දුංකල, වට්ටක්කා, කරවල වගේ ඒවා තමයි ඔය ලිස්ටෙකේ තියෙන්නේ.

රාස්සියෝ හුරිහෙල කන්දේ වී වේලන වෙලාවට ඒ කියන්නේ බිං කලුවර මිදුලට පතබෑවෙන වෙලාවට ලයිට් දාගෙන හෝන් ගහගෙන වජිර මල් ශාලාවේ වෑන්නෙක ඇවිත් පල්ලැහැ පාරේ නවත්තනවා. ඒ කියන්නේ මිනිය ගෙනැල්ලා. මිදුලේ හිටපු අයයි එක එක වැඩ කර කර හිටපු අයයි එක එකාව පෙල්ලගෙන පඩිපෙල දිගේ පල්ලැහැට දුවනවා. බාරොන් මාමලාගේ නැන්දා ආයෙත් මරලතෝනි දිදී කෑ ගහනවා.මිනී පෙට්ටිය ඉලන්දාරි ටික එකතුවෙලා වෑන්නෙකෙන් පරිස්සමට බාගන්නවා. පස්සේ හය හත්දෙනෙක් එකතුවෙලා මිනී පෙට්ටිය කරේ තියාගෙන හෙමින් හෙමින් පඩිපෙල දිගේ උඩහට ඇදෙනවා. පෙට්ටිය ගෙදෙට්ට ලං වෙන්න වෙන්න බාරොන් මාමාලගේ නැන්දගේ විලාපය දෙගුණ තෙගුණ වෙලා ඉස්සරහා හුරිහෙල කන්දේ වැදිලා දෝංකාර දෙනවා.

ඉතුරු කොටහ ජුංඩකින් ............................

Sunday, January 10, 2016

පැන්සොන් 02


“සෝටීස් ගේන්න“
ලොකුඅම්මා ඇනවුම දෙනවා. ආච්චිත් මේසේ උඩ ලිවුම් කවරේ බාගෙට දිග ඇරගෙන ඒකේ තියෙන සල්ලි කොල දිහා හොරෙන් හොරෙන් බලනවා. සීයා නැගිටලා ටැප්පෙක ඇරලා ඒකෙන් වතුර ටිකක් අතට අරං විසිකරලා සීරුවට කොණ්ඩේ ගාගන්නවා. එයිට පස්සේ ආය ඇවිත් ඉඳගන්නවා.සෝටීස් ප්ලේට්ටෙක දුම් දාගෙන මේසේ උඩට එනවා. මං ලොකු මාළුපාන් ගෙඩියක් ඩැහැගෙන කෑල්ලක් ගිලිනවා.
උගුර ගිණියම් වේගෙන මාළුපාන් කෑල්ල බඩට බහින හැටි මට තේරෙනවා. මම උගුර එක අතකින් අල්ලගන්නවා.
“හිමීට කාපන් බඩ පපුව පිච්චෙයි. යකෝ මූ මාස ගානක් සාගින්නේ ඉඳලා වගේනේ“
ලොකු අම්මා ආයෙත් ආඩපාලි පටන්ගන්නවා.
ඔන්න අර ගෙනාපු පිඟානෙම හිස්කරලා අපි සල්ගාදු හෝටලේට සමුදෙනවා. ආච්චී ලිවුම් කවරේ ඇදලා ඒකෙන් ගානක් ඇදලා සීයට දීලා ලොකු අම්මත්තෙක්ක මාකට් එකේ එළවළු කඩ දිහාට යනවා. මායි සීයයි කෙලින්ම යන්නේ මාර්කට් එකේ තියෙන මස් කඩේට.
“මම දන්නවා තැන.. මම හැමදාම යන්නේ එතෙන්ට“
සීයත්තෙක්ක මස් කඩේට යද්දි මට හැමදාකම ඔය ඒ දවස්වල ටීවී එකේ ගිය ඇඩ්ඩෙක මතක් වෙනවා.දැන් ඉතිං සීයා පැය ගානක් මස් තෝරනවා. මස් කඩේ අයත් හැමදාම එන සීයව අඳුරන හින්දා ඇතුලෙන් හොඳ මස් ගෙනැල්ලා දෙනවා. වෙන වෙනම මස්..පෙනහළු..බාබත්...කිරි බොකු .. සුප් කටු... බිංගා ඒ කියන්නේ සීයා ඇතිකරන බල්ලට මස්කටු ...... බල්ලටත් මස් කටු වෙනම ගන්නකොට මට ගෙදර අම්මලාව මතක් වෙනවා ... මම මෙහෙම කෑවට අපේ අම්මලා අද බඩගින්නෙද දන්නෑ කියලා...
“අයිසේ මේක තියාගෙන මෙතනම ඉන්නවා“
කියලා සීයා මට මස් බෑග්ගෙක දීලා ඌව වයින් ස්ටෝර්ස් එක දිහාවට ගාටනවා. මම මස් කඩේ මුදලාලිලා පිහිය මුවහත් තියන හැටි... මස් ගාත් කොක්කේ එල්ලන හැටි... ඒවා කොටේ තියලා ඩාං..ඩාං ගාලා කපන හැටි බල බල මස්කඩේ ගාවට වෙලා ඉන්නවා.අර ඉස්සෙල්ලා ලියද්දි මම හතරැස් බෝතල් කියලා ලිව්වනේ. ඒක ලියවුනේ ප්‍රමාද දෝෂයකින්. ඒ කියන්නේ මේ පලාතේ ඔය සංස්ථා කියන අරක්කු වර්ගය නෑ. තියෙන්නේ මේ පලාතෙම හදන ඉගිලෙන අස්පයකුගේ පිංතූරයක් තියෙන කොල ලේබලෙන් එන “ඌව ග්ලේන්“ කියන රවුම් බෝතලේ එන අරක්කු තමයි. මේ පලාතට පිටින් එන අයනම් කියන්නේ ඕක සැරයි කියලා. ඉතිං පිටපළාත් වල අයට ඕවා බොන්න බැරි වුනොත් බණ්ඩාරවෙල කාගිල්ස් එකට යන්න ඕනි හතරැස් බෝතල් හොයන්න.
ඉතිං සීයා රවුම් බෝතල් දෙක්කුත් උස්සගෙන බොහෝම තෙහෙට්ටු ගතියකින් දාඩිය පෙරාගෙන එනවා. මම හිතන්නේ තෙහෙට්ටුව නැති වෙන්න එන ගමන් බාර්රෙකෙන් සිල්ලර ෂොට් එක්කුත් දාලයි සීයා එන්නේ.කලින් කතා කොරගත්තු විදියට සීයයි මමයි සියඹලා ගහ ඉස්සරහට වෙලා ඉන්නවා. ආච්චියි ලොකු අම්මයි තවුෆි නානගේ ඩෙලිකා වෑන්නෙකෙන් ඇවිල්ලා අපිවත් අහුලගෙන යනවා. සීයා මගදි දෙතුන් විඩ වාහනේ නවත්තනවා. අමතක වෙච්ච දේවල් ගන්න.
“හෝව් .. වෝව්.... බැට්රි කෑලි හතක් ගන්ඩෝනි. රේඩියෝ එකටයි ... ටෝච් එකටයි“
තව ටිකක් දුර ගියාම
“හෝව් ... වෝව්.. පර්මාෂාප් තල පැකට්ටෙක ගන්න අමතක වුනා“
කියලා සීයා බැහැලා විහාරගොඩ කඩවල්වලට දුවගෙන යනවා.
“මේ මිනිහා බීලද? ඈ මේලකයෝ“
ආච්චි පිටිපස්සෙ ඉඳන් අහනවා.
ඔන්න අපි ආච්චිලාගේ ගෙදෙට්ට ලංවෙනකකොට නමුණුකුල කන්දෙන් ඉර හැංගෙන්න මාන බල බල ඉන්නවා. ඉතිං තවුෆි නානා වෑන්නෙක නවත්තලා බඩු බාගන්න උදව් කරලා ගියාට පස්සේ අපි ඔය බඩු ටික කන්දේ උඩ තියෙන ආච්චිලගේ ගෙදෙට්ට අදින්න ඕනි. ශ්‍රීකාන්ත මාමත් ඇවිල්ලා උදව් කරනවා.ඔන්න ගෙදෙට්ට බඩු ටික ඇද්දට පස්සේ සීයා චිමිනි ලාම්පුවේ චිමිනිය ගලවලා ඒක දිස්නේ දෙනකන් දෙතුන් විඩේ පිහදානවා. ඒකට ලාම්පුතෙල් පුරවලා කුප්පි ලාම්පුවලටත්  ලාම්පුතෙල් පුරවනවා. ලොකු අම්මා කුස්සියේ ආච්චිත් එක්ක පරණ ණය හිලව් බේරුම් කරනවා.
“ඔක්කොම හාල් හුංඩු විසි පහයි“
“විසි පහක් නෙවෙයි විසි එකයි. මේලකයා ලියලා ඇති. මම අද උදේ අහද්දි විසි එකයි.“
“විසි එකක් කොහෙද ? අන්තිමට ඊයේ හවස මේනකයා ඇවිල්ලා හතරක් අරං ගියේ“
“මේලකයෝ අර පොත අරං ඇවිල්ලා බලහං“
මම පොතත් උස්සගෙන එනවා.
“හාල් හුණ්ඩු විසි එකයි“
“මෙහෙ දියං ඔය පොත...“ ලොකුඅම්මා පොත උදුරගන්නවා.
“ආ මේ පෝය දවසේ හවස ගෙනිච්ච හතර ලකුණු කරලා නෑ“
“පෝය දවසේ හවස ගෙනාවේ නෑනේ“
“හා...හා විසි පහ ගනින්කෝ“ බැරිම තැන ආච්චී කියනවා. විසිපහට අමතරව තවත් හුණ්ඩු අටක් නමයක් වැඩිපුරත් ලොකු අම්මට හම්බුවෙනවා.
ඊට අමතරව සීනි පොල් ගිණිපෙට්ටි තේකොල ආදියත් මං ලකුණු කරපු ගනන් වලට වඩා ලොකු අම්මට ලැබෙනවා.ඊට අමතරව මස් කිරිපිටි එක්ක ලොකු තාත්තට අරක්කු බාගයකුත් ලැබෙනවා. ඕක ලැබුන්නැත්තන් ලොකු තාත්තා එළියට බැහැලා සීයාට බනිනවා. මහ හයියෙන්. ගම දෙවනත් වෙන්න. ඒ බයට අර බඩු නැතත් අරක්කු බාගෙනම් අනිවාර්යෙන් ලොකුතාත්තට ලැබෙනවා. දවසක් ඔය බාගේ දෙන්න අමතක වෙලා පහුවදා ලොකු තාත්තා වැඩ ඇරිලා බීලා ඇවිල්ලා පල්ලෙහා ගෙදර මිදුලට වෙලා
“අඩෝ .. නාකි බුඩා...තොගේ අරක්කු තෝ තියාගන්... මම බීලා ඩෝ ආවේ...“ කියලා ගමටම ඇහෙන්න කෑගැහුවා.
එදා ඉඳන් ලොකුතාත්තගේ අරක්කු බාගෙනම් වරදින්නෑ.ඉතිං ගෙනාපු බෝතල් දෙකෙන් බාගයක් ගියාම එකහමාරක් සීයට ඉතුරු වෙනවා. ඕකත් ඉතිං සීයයි..ආච්චියි...ශ්‍රීකාන්ත මාමයි....මායි අතරේ (ඈ යකෝ උඹත් බිව්වද? නෑ අර පණුවොන්ට හොරෙන් දාගත්තු ෂොට් එක) බෙදෙන්න එපැයි.සීයා පරණ යුනික් රේඩුවෙකේ පරණ බැට්ටි අයින් කරලා අලුත් බැට්ටි දාලා කරකවනවා.
“සෝස්........සොරෝස් ...සෝස්...“
ඒ කාලේ ඔය එෆ් එම් තරංග තිබ්බෙ නෑනේ. කෙටි තරංග හා මධ්‍යම තරංග. ඕවා ගොඩාක් දුරුවලයි.
“ඇන් ඇම්ට පුළුවන්ද? ඇම් බෙට්ට පෙරලන්න.... ඇන් ඇම්ට පුළුවන්ද? ඇම් බෙට්ට පෙරලන්න.... ඇන් ඇම්ට පුළුවන්ද? ඇම් බෙට්ට පෙරලන්න....“
ප්‍රවෘත්ති තේමා වාදනයේ හැංගිලා තියෙන්නේ ඕක.
“ටීක්...ටීක්...ටීක්.....ටූක්.... වේලාව සවස හයයි. මේ ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවයි ...මෙන්න ප්‍රවෘත්ති“
ඉතිං සීයා ප්‍රවෘත්ති අහනවා. ඔය අතරේ ආච්චි මස් කපලා සීයට බොන්න කටගැස්මක් හදනවා.ප්‍රවෘත්ති ඉවරවෙලා චිමිනි ලාම්පුව එහෙම පත්තු කරලා ඉවරවුනාම කටගැස්ම මේසේ උඩට එනවා. සීයා අර බාගේ මේසේ උඩින් තියලා ඒක දිහා බලාගෙන ඉඳලා වීදුරුවක් අරං අරක්කු ටිකක් ඒකට දාන් ගුඩුස් ..ගුඩුස්..ගාලා බොනවා. පස්සේ මස් කෑල්ලක් අරං කටේ ඔබාගන්නවා.
තව ටික්කින් තව සොට්ටෙකක් වීදුරුවට හලාගෙන කුස්සියට යනවා. ඒ ආච්චිට දෙන්න කියලා මම සක්සුදක් සේ දන්නවා.
ආයෙත් ඇවිල්ලා තව සොට්ටෙකක් හලාගෙන සීයා එළියට යනවා. ඒ ශ්‍රීකාන්ත මාමට බොන්න ඉඩකඩ හදලා දෙන්න. ශ්‍රීකාන්ත මාමා බොනවා කියලා සීයා දැනන් හිටියත් දෙන්නා කවදාවත් එකට බීලානම් නෑ. ඉතිං ශ්‍රීකාන්ත මාමත් මේ තමාගේ වාරය කියලා දැනගෙන කාමරෙන් එළියට ඇවිල්ලා ගුඩුස් ගුඩුස් ගාලා ෂොට් දෙක තුනක් දාගෙන යනවා.
දැන් ආච්චි එන්නෙත් නෑ සීයා එන්නෙත් නෑ කියලා සක්සුදක් සේ දන්න මාත් ඒ අවසරයෙන් මේසේ ගාවට ගිහින් සොට්ටෙකක් බෝතලෙන්ම හලාගන්නවා. පපුව පත්තුවෙලා යනවා වගේ දැනෙනවා. මස් කෑල්ලකුත් කටේ ඔබාගෙන මං කාමරේට වදිනවා. ඒ බඩේ ඉන්න පණුවන්ට දාගත්තු සොට්ටෙක. සීයා එළියේ ඉඳන් තව අමුත්තෙකුත් එක්කරගෙන එනවා. ඒ තමයි වෙදමහත්තයා. සීයට හත වදින දවසට වෙද මහත්තයත් බොන්න අරං එනවනේ. දැන් ඉතිං දෙන්නා රෑ අට නමය වෙනකන් බොනවා....බොනවා...බොනවා...
ඔය අතරේ ආච්චිට යන පංගුව ... ශ්‍රීකාන්ත මාමගේ විරාමය .. මගේ පණු අමාරුවට ගන්න සොට්ටෙකත් වෙන් වෙන් වසයෙන් ඇදි ඇදී යනවා.
ඉතිං වෙදමහත්තයත් ගියාම අරවත් ඉවරවුනාම අපි රෑට කාලා බුදියගන්න යනවා. මම නිදාගන්නේ ආච්චිගේ කාමරේ ආච්චිත් එක්ක. උන්දැට මගේ අරක්කු ගඳ දැනෙයි කියලා කොට්ටෙ හොස්ස ඔබාගෙන බුදියගන්නවා. ආච්චිගේ කටින් විස්තාපනය වෙන ඇල්කොහොල් ගඳ මටනම් දැනෙනවා.ඔන්න ටික වෙලාවකින් ආච්චි සීයට බනින්න පටන්ගන්නේ අර පරණ මතකයකුත් ඇදගෙන. මොණරාගල ප්‍රශ්නේ. ඉතිං ආච්චි හයියෙන් මගෙත් එක්ක කිය කිය සීයටත් ඇහෙන්න සීයට බනිනවා.
“ඕකා මේලකයෝ හොඳ බඩුවක් නෙවෙයි. මොණරාගල ඉන්න කාලේ ගෑණියෙක් ලෑස්ති කරගෙන ඉඳලා ඒක මහ ලොකුවට මිනිස්සුන්ටත් කියනවා. තුක් නොදකින්“
සීයත් දැන්නම් ආච්චිට බයේ ඉන්නෑ. ඇඳෙන් නැගිටලා ඇවිල්ලා
“මොනාද බොල කිව්වේ “
 කියලා චටස් පටස් ගාලා ආච්චිගේ කම්මුල් රත් කරනවා.
මටත් දෙකක් වදින්න කලින් මම ඇඳෙන් බැහැලා ශ්‍රීකාන්ත මාමගේ කාමරේට දුවනවා.
“ශ්‍රීකාන්තයෝ මෙන්න මිනී මරනෝ“
ආච්චි මහ හයියෙන් කෑ ගැහුවම කරුවලේ ටෝච්චෙකක් ගහගෙන ලොකු අම්මත් ඇවිල්ලා තමයි ඔය රණ්ඩුව බේරන්නේ.
(මම ගමේ යන්න තීරණය කලා. මීට වඩා හොඳට එහෙදි ලියන්න ඇහැක් වෙයි. ඒත් ඔව්වා පෝස්ට් කරන්න ඇටම්පිටියට හරි හාලිඇලට හරි යන්න වෙන්නේ ගමේ සිග්නල් නැති නිසා. එතකොට කොමෙන්ට් වලට රිප්ලයි කරන්නත් සහෝදර බ්ලොග් වලට කොමෙන්ට් කරන්නත් මට බැරි වෙයි. එවුවට තරහ අවසර.)