බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, May 15, 2016

අමුතු ගම - 2 කොටහ

මගේ බ්ලොග් කළාවේ බ්ලොග් ෆාදර් වන සුරංගයා කිව්වා සේ ගමේ ටැලිපෝන් කණුව ජනගත වූ පසු මගේ කතා අහල පහල එවුන්ගේ නෙත ගැටීමෙන් සිදුවන ව්‍යවසනයෙන් ගැලවීමට සියළුම නම් අන්වර්ත කිරීමට සිතුවෙමි. තැන්කිව් සුරං... බෝ ඉතිං දුරදිග බලනවා නොවැ.
ඔය අනියං සම්බන්ධකන් පටන්ගන්න ගෑණු ගොඩක් උස්සහ කරන්නේ පිටගං කාරයොත්තෙක්ක ඕවා පටන්ගන්න. ඒ මොකද ගමේ ඕවා පටන්ගත්තම ඕවා පද වෙලා ඒවට තටු ඇවිල්ලා එහා මෙහා ඉගිලිලා යන හින්දා. ඒත් පිට එවුන් එක්ක පටන්ගන්න අනියන් සම්බන්ධකන් ඊට වඩා වේගෙන් ප්‍රචාරය වෙනවා. පහුගිය කාලේ පාර හැදෙනකොට පාරේ සුළු සේවකයගේ ඉඳන් ඩෝසර් කාරයන් ඕවර්සියර්ලා දක්වා හැම මිනිහෙක්ම ගමෙන් වැඩක් කොරගත්තා. ඔය කාරයෝ ඉන්නවා නේද ඒ කියන්නේ ත්‍රීවීල් කාරයෝ..ලොරි කාරයෝ .. බස් කාරයෝ..ඩෝසර් කාරයෝ... ඔය වගේ කාරයෝ තදින් බීමට ඇබ්බැහි වෙලානෙ ඉන්නේ.බොනවනම් කමක් නෑ. ගංජා සුරුට්ටුත් උරනවනේ. ඉතිං පාර හදන කාලේ උන් ගමේ පිරිමිත් එක්ක එකතු වෙලා රෑට උන් එක්ක බොන ගමන් අර ඔක්කොම රස කර කර ගමේ එවුන් එක්ක කියවනවා. පහුවදා අර කතා වේගෙන් ගමේ ඉහල පහල යනවා. සමහරු ගෑණු එක්ක බුදියගත්ත කියලා අරක්කු ගෙනල්ලා පාටි පවා දාලා තිබ්බා. අර කවුද මන්තිරි කෙනෙක් සීයක්ද කොහෙද පැන්නුවා කියලා පාටියක් දැම්මා වගේ.ඉතිං ඔය විදියට බලනකොට ඒ දවස්වල ගමේ පාටි දෙසීයක් තුන්සීයක්කත් තියෙන්න ඇති. ඔය පාර හැදෙන කාලේ මම ගමේ හිටියේ නෑ. මම නිවාඩු ආවම එක එකාගෙන් අහන්න ලැබිචිච කතා අවශෝෂණය කරගෙන තමයි මේක ලිව්වේ. ඩෝසර් කාරයෝ ඕක අතිමුත් දාලනේ ගමේ එවුන්ට කියන්නේ. ගමේ එවුමුත් අතිමුත් දාලනේ ඕක මට කියන්නේ. මාත් අතිමුත් දාලනේ ඕක ලියන්නෙ. ඉතිං ඔය කතා වල අතිශෝක්තියකුත් ඇති.ඉතිං ඩෝසර් කාරයෝ ගමෙන් ගියා. ගෑණුන්ගේ මූණු වල ගෑවිච්ච දැළි තාම එහෙම්මයි. ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ කියන්නේ ඕකනේ.
ඕක ඒ කියන්නේ අනියන් සම්බන්ධකම් අපේ ගමේ අපේ පලාතට විතරක් නෙවෙයි මුලු ලංකාවටම විතරක් නෙවෙයි මුලු ලෝකෙම වසාගත්ත ව්‍යවසනයක්. ඕක ගැන අපූරු බණක් දඹර අමිල හාන්දුරුවෝ දවසක් පුංචි තිරේ දේශනා කලා. ලංකාවේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් ඕක 75% තියෙනවළු.
ඕක සිංහල රජ සමය දක්වාත් යනවා. ඕක ගැන රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ නියමෙට ලියලා තිබ්බා. රජ කාලේ ගැහැණුන් සිය සොර වල්ලභයා හමුවන්න තෝරගත්තේ කැලෑවළු. ගොඩාක් වෙලාවට කලින් කතිකා කොරගත්තු වෙලාවක දර කඩන්න කැලේට යන මුවාවෙන් කැලයට ගොස් තම සොර සැමියා සමඟ රිසි සේ හැසිරී ආපසු එන ගැහැණුන් ගැන ලියලා තිබ්බා. ඒ වගේම තම සැමියා හේන් රකින්නට රාත්‍රියට නිවසින් පිටවූ පසු සොර සැමියන් නිවසට ගෙන්වා ගන්නා ගැහැණුත් සොර සැමියා නිවසට පැමිණීමට පෙර තමා පැමිණි බව දර කෝටුවක් කැඩීමෙන් හෝ බුලත් කොලයක් ඉහලින් ගෙට දැමීමෙනුත් දන්වන ආකාරයත් සටහන් කොරලා තියෙනවා.ඒ කාලේ පෝන් තිබ්බ එකක්යැ. ආය ඒ කාලේ නීතියක් තිබ්බළු බිරියක් සොර සැමියා සමඟ සිට සැමියාට අහුවුනොත් ඉතිං සැමියා සොර සැමියාව ඇස්වලට දැක්කොත් ඔහුව එතැනම මරා දැමීමට සැමියාට පුලුවන් කියලා. ඉතිං මේකට උපක්‍රමයක් විදියට සොර සැමියා නිවසට ඇතුලු වූ පසු දොර අසල අළු කුල්ලක් තබාගැනීමට ගැහැණුන් පුරුදු වෙලා හිටියළු. හදිසියේවත් සිය සැමියා ආවොත් ඔහුට අළු කුල්ලෙන් දමා ගසා සොර සැමියා නිවසින් පිටත් කරන්නට කාන්තාවන් සූක්ෂම වෙලා හිටියළු. “අළු කුල්ලෙන් ගැසීම“ කියන්නේ ආන්න ඒකටළු. අළු කුල්ලෙන් මුහුණට ගැසීම නිසා සොර සැමියා හඳුනාගන්නට සැමියාට හැකි වෙන්නේ නැතිලු. ගැහැණුන් තම සැමියාට වඩා සොර වල්ලභයන්ට එක සිතින් ආදරය දැක්වුවාළු. ඔව්වා ගැන ලියවෙච්ච ජනකවිත් බොහෝමයි...ඒ රජකාලෙලු. මේ අබුද්දස්ස කාලෙලු.
 “අඩෝ ගමේ වැල ගමේ කපුටන්ට ... හරී...“
කොහොම වුනත් මාත් තීරණේකට බැස්සා.
“මාත් ලොකු වුනාම ඩෝසර් කාරයෙක් වෙනවා...“__________________________________________“කවුද බොලව් ඊයේ හවස මෙතන තිබ්බ පුවක් වල්ල කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. අම්මට හැ####. මම යනවා කාලි කෝවිලේ. කපනවා ඔවුන්ට පඬුරු. හැඳිගෑවිලාම යන්න.“
පුවක් ඉදෙන කාලෙට අපේ ආච්චි ආරූඪ වෙන්නේ ඔන්න ඔහොම.
ඔය දන්සිරි අයියා ඉන්නවා නේද? දන්සිරි අයියා කියන්නේ අපේ තාත්තගේ නංගිගේ එහෙමත් නැත්තං ආච්චිගේ දුවගේ පුතා.  පොඩි කාලේ කරපු දඩබ්බරකන් නිසා පංසලක මහණ කරන්න ගිය වෙලේ
“දියං මට පුලුවන් ඕකව හදන්න“
කියලා ආච්චි දන්සිරි අයියව අරන් ඇවිල්ලා හදලා තියෙන්නේ. දැන් ඉතිං කරදඬු උස් මහත් වෙලා. ඒත් අර දඩබ්බරකන් එහෙම්මයි.
ගමේ පුවක් ඉදෙන කාලෙට ගමේ මිනිස්සු පුවක් ගස් දිහාම ඇහැ ගහගෙන ඉන්නේ. ඒත් මොන... සමහර මිනිස්සු ගෙට ගිහිං ආපහු එළියට එන ඇසිල්ලෙන් සමහර පුවක් වලු අතුරුදහන් වෙනවා. හොරා හරි හොරු කාංඩේ හරි අල්ලන්න ගමේ මිනිස්සු කොච්චර උත්සහ කලත් ඒවා ඉතිං ගඟට කපපු ඉණි වගේ තමයි.
ඇයි ගල්ලත්තේ ආච්චිගේ තැඹිලි ගස් දෙකේ තැඹිලි වළු..රෑ එළි වෙනකන් ඇහැ ගහගෙන හිටියත් මොන පරිස්සම් කිරිල්ලක්ද?
“ගිය පාර මගේ තැඹිලි වළු දෙකම කඩන් ගියා. මට ඔය දන්සිරියා තමයි විශ්වාස නැත්තේ.“
ගල්ලත්තේ ආච්චි කියපු කතාවක් අපේ ආච්චිගේ කණේ වැටිලා අපේ ආච්චි කියල දුන්නලු ගල්ලත්තේ ආච්චිට කන් දෙකේ ඇඟිලි ගහගන්න.
“දන්සිරියා කොහේ හොර පොල් බාන්නද බං. ඕකා ගොම්මන් වෙනකොට මට එහායින් ඇඳේ හැමදාම බුදියගන්නේ. එළි වෙනකන් ගොරෝ ගොරෝ බුදි. උඹේ තැඹිලි බාපු එකෙක් පේනයක්කත් බලල හොයාගනින්. අහිංසක ඌ අල්ලන්නේ නැතුං.“
හතර පෝයටම සිල් ගන්න අපේ ආච්චි මුසාවාදා සික්ෂා පදය සුනු විසුනු කල්ලා දානවා. දන්සිරි අයියා එක රෑකවත් ගෙදර හිටියා මටනන් මතක නෑ. කොහේ හරි බොන්ඩ ගිහින් ගෙදර එනකොට රෑ දොලහ එක වෙනවා.
“ආච්චි...ආච්චී.. දොර අරින්ඩ“
“මොන මල වදයක්ද බං හැමදාම රෑ පාන්දර වෙනකන්.. මට නිවී සැනසිල්ලේ බුදියගන්නවත් දියං“
දන්සිරි අයියට බැන බැන ආච්චි හැමදාම දොර අරින්නේ එහෙම.
දන්සිරි අයියා ඉගෙනගත්තෙ නෑ. කැලෑ පැන්නා කියල තමයි ආච්චි කියන්නේ. ගමේ කුඹුරු කොටන කාලෙට කුඹුරු කොටනවා. ගොයම් කපන කාලෙට ගොයම් කපනවා. අල හදන්න බිඳින කාලෙට බිඳිනවා. ඔය මොකක්කත් නැති කාලෙට එම්.බී.බී.එස් (මේසෙන් බාස්ට බදාම සප්ලයි) කරනවා. (ඕක ඉතිං උසස්පෙල ඉවර වෙලා මාත් කරපු පලවෙනි ජොබ් එකනේ) කොටින්ම කුලී වැඩ කරනවා.එවුවගෙන් හම්බුවෙන සල්ලි වලින් ආච්චිට කීයක් හරි දීලා..ඉතුරුවගේ රා බොනවා..අරක්කු බොනවා...බ්‍රිස්ටල් බොනවා... කඩචෝරු කනවා.. චිත්‍රපටි බලන්න යනවා.. බදුල්ලේ රෙක්ස්..කිංස්..මොඩන්... ඒ මදි වුනොත් බණ්ඩාරවෙල සීගිරි..එත්විල් හෝල් වල පැල් බැඳගෙන පිචර් බලනවා. පැල්ලැහැ රේන්දපොලේ කඩෙන් පුස්නාම්බු..හුලං ඉස්කෝතු.. ඉස්කිරිඤ්ඤා .. කඩචෝරු කනවා.. ඔය මං ඉන්නවා නේද? මාත් ඉස්සෙල්ලම පිචර් එකක් බැලුවේ දන්සිරි අයියට පිංසිද්ද වෙන්න.. “රජ කෙල්ලෝ“ තමයි ඒ පිචර් එක. ඇයි ඉස්සෙල්ලම කිතුල් රා ටිකක් බිව්වෙත් දන්සිරි අයියට පිංසිද්ද වෙන්න. ඉස්සෙල්ලම සිකරට්ටෙකක් බිව්වෙත් දන්සිරි අයියට පිංසිද්ද වෙන්න. ඇයි දන්සිරි අයියා නැත්තන් අපි කොහොමද පුස්නාම්බුයි බුල්ටොයි කන්නේ.. ඇයි දොඩන්බික් සීනිබෝල..මං ඔය දන්සිරි අයියට විරුද්ධව එක වචනයක්කත් කියන්නැත්තේ ඒකයි.“චූටි පැල්ලැහැ කඩේට ගිහිං බිස්ටල් දෙකයි බීඩි රුපියල් දහයකයි අරං ඉතුරු එවුවගේ මොනා හරි කාපං... හැබැයි විජිත බීඩිම ගෙනෙන්“දන්සිරි අයියා මට ප්‍රවාහන ගාස්තු ගෙවන්නේ එහෙම.දැන් ලපටි ගැට මෝරාගෙන එන තැඹිලි ගස් දෙකේ පළදාව මේ පාරත් හොරුන්ගේ ග්‍රහණයෙන් මුදෝගන්න ගල්ලත්තේ ආච්චි උපක්‍රමයක් යොදනවා. කවුදෝ ගලවපු කටු කම්බි ගෙනැල්ලා ඉනිමගක් තියලා තැඹිලි ගහේ බාගයක් විතර උඩට නැගලා කටුකම්බි ගහේ උඩ ඉඳන් පහලට වෙලාගෙන වෙලාගෙන ඇවිල්ලා ගහ මුලට තව වැල් නිදිකුම්බා වැලුත් දානවා. ගස් දෙකටම මෙහෙම කරලා ආඩම්බරෙන් ගස් දෙක දිහා බලාගෙන ඉන්නවා. තව ඉතිං ගමේ ඇවිද ඇවිද තමන්ගේ උපක්‍රමය ගැන පුරසාරම් කියනවා. අපේ ගෙදර ඇවිල්ලා ආච්චිත් එක්කත්  කියවනවා.
“මේ පාරනන් හොර හැතිකරේට යස පාඩමක් ඉගැන්නුවා. ගිහිල්ලා බලපංකො තැඹිලි ගස් දෙකටම කටු කම්බි ගැහුවා. ආය මොන ජගතෙට්ටවත් බෑ හොරෙන් තැඹිලි බාන්න. අර කටුකම්බි ටිකක් ඇති. අරං ඇවිත් උඹේ පුවක් ගස් ටිකෙත් ගහ ගනින් ඕන්නන්“
ගොලෑ වීගෙන එන ආච්චිගේ පුවක් ගස් වල වලු දිහා බල බල ගල්ලත්තේ ආච්චි කියවනවා.
“ගිය පාර හොරු පුවක් කැඩුවට ලෙස වෙන්නෑ මේ පාර කැඩුවොත්... ඇත්තමයි යනවා කාලි කෝවිලේ..අල කොල මියන කොල වගේ හැඳිගාවනවා ඕකුන්ව..“(ඊලඟ කෑල්ලෙන් හම්බුවෙමු...) 

Tuesday, May 3, 2016

අමුතු ගම ....

ඔන්න මම උඩහ රත්නායක බාප්පලගේ කඩේට ගිහින් පල්ලැහැට එද්දි අපේ ගෙවල් වලට උඩින් පාරේ කලුබංඩෙ බාප්පයි .. දන්සිරි අයියයි.. සුමනේ අයියයි.. මංතිරි අයියයි.. ටී.ඩී. සුමනයි..නීටා අක්කයි..නිලානීයි..වල් මහත්තයයි..පතන් බංඩෙයි කට්ටියම පාර අහුරගෙන හිටියා.


“ඈ බොල චූටියෝ තෝ නේද අපිව පාවා දීලා ඒ මදිවට ගමත් පාවලා දීලා ඉන්ටනේට්ටෙකට එක එක විකාර දාන්නේ... තෝ කාගෙන් අහලද ඔව්වා කරන්නේ.. හිටපිය තෝ එනකන් තමයි හිටියේ අල්ලගන්න “


කියපි. කලුබංඩෙ බාප්පගේ අතේ පොල්ලක්.. දන්සිරි අයියගේ අතේ ගලක්. අනිත් ගෑණූ අතේත් කොහු ඉදල් හට්ටි..මුට්ටි.. එනපොට හොඳ නෑ කියලා දැනගත්තු මං ආයෙත් හැරිලා පාරේ උඩහට පන කඩන් දුවද්දි කට්ටියම මාව පන්නගෙන ආවා. දන්සිරි අයියා අතේ තිබ්බ ගලක් අත ඇරපි. ගල ඇවිල්ලා තරු ගොඩාක් විසි කරලා මගේ ඔළුවට පත බෑ වුනා.


“බුදු අම්මෝ“


මං විලාප දීගෙන ඇහැරුණා. යකෝ ඒක හීනයක්ද?...


මේ කමියා කොහේ ගියාද? අපේ ඉස්කෝලේ පැත්තේ යන්න එනවා කිව්වා. එනකන් බලන් ඉන්නවා. මම පින්සිබොල්ට ඔත්තුව දීලා පණිවිඩ පිට පණිවිඩ එවනවා. ආ. එගොඩ ගුන්තිලක මාමලගේ කුඹුරේ ටවර්රෙකක් ගහනවා . ගමේ එවුන්නම් කියන්නේ සෙල්ටෙල් කනුවක් ගහනවා කියලා.සෙල්ටෙල් මැරිලා කොච්චර කල්ද? මොබිටෙල්ලෙකෙන් තමයි කණුව ගහන්නේ. එතකොට අවුලක් නෑ. ගෙදර හිටන්ම වැඩේ කරතෑකි. ඒ කියන්නේ ලියන වැඩේ කරතෑකි.(නැත්තං වෙන මොකක්කත් හිතයි) අනික් එවුන්ගේ බොග් බලන්නත් කොමෙන්ට් කොටන්ඩත් එතකොට පුලුවන්.


ඒක මහා විකාර ගමක්. අවුරුදු දහයක් පහලවක් සියනෑ කෝරළේ කරක්ගහපු මට ගම මහා විකාරයක් වෙලා. ගමේ ගැමිකම සිරියාව බල්ලට ගිහිල්ලා. තැන තැන පොෂ් වෙන්න මාන බලන මිනිස්සුත් අසීමිතව කොටු පයින ගෑණුත් තම තමන්ගේ තත්තේ ගැන පම්පෝරි ගහන මිනිස්සුත් තමයි දැන් ඔය ගමේ ඉතුරු වෙලා ඉන්නේ. ආණ්ඩුවේ රස්සා කරන එවුන් හරියට බිල් ගේට්ස් උන්නැහේ ලඟ වැඩ කොරනවා වගේ උඩින් යන්නේ. ආණ්ඩුවේ රස්සා කරන එවුන් ගැන මං මුලින්ම ඉගෙනගත්තේ අපේ ඉස්කෝලෙන්. ඒ දවස්වල පංතියේ අපිට මොකක්හරි වැඩක් දීලා කොට්ට උර මැහීම තේ බීම කයිවාරු ගැහීම වගේ වැඩ කරපු අපේ ගුරුවරුන්ගෙන් තමයි ආණ්ඩුවේ රස්සා වල දිග පලල උස මහත මන් ඉගෙනගත්තේ. දැන් ඔය ගොවි නියාමක පට්ටම ලැබිච්ච කෘෂිකර්මේ ගැන මෙලොව දැනීමක් නැති උඩහා නිලානී ගමේ කුඹුරු වගා කොරලද කියලා බලන්නේ එගොඩහ ගොඩේ තමන්ගේ ගෙදර ඉඳන්. ආය බස්සෙකේ එහෙම යන්නේ මහ ඒජන්ත නෝනා වගේ තමයි. පහුගිය කාලේ පොහොර හුටපටේකටත් නම ඈඳිලා තිබ්බා කියලා කතාවක් එහේ මෙහේ ගියා.


ගොවි සමිතියේ සබාපති අපේ කලු බංඩේ බාප්පා දික්කලිසමකුත් ගහන් ෆයිල් එක්කුත් කිහිල්ලේ ගහගෙන ගමේ උඩහ පහල කරක් ගහන්නේ බොහෝම උජාරුවෙන්. ග්‍රාමසේවක මහත්තයටවත් නැතුව ඇති උන්දැට තියෙන වැඩ. පහුගිය කාලේ රස්සා අරං දෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගත්තා කියලා කතාවකුත් ගම වටේ ඉගිල්ලුනා.


මහාමාර්ගේ වැඩ කොරන පල්ලැහැ නීටා අක්කට ගමේ මිනිස්සු කියන්නේ මහාමාර්ග ඇමතිතුමිය කියලා. ඒ තරම් බලපරාක්‍රමයක් තියෙනවා වගේ තමයි ඉන්නේ. ගමේ දුප්පත් මිනිහෙක් පාර අයිනේ තියාගෙන බඩ ඉරිඟු කරලක් වික්කත් රෙද්ද උස්සගෙන එන නීටක්කාට එයාගේ අයියා පාර අයිනේ සුදු ඉර උඩ ගහලා තියෙන අට්ටාලෙනම් තාම පෙනිලා නෑ වගේ. අර ඇල්ල පැත්තේ හෝටල්කාරයෝ පාර මැදත් හෝටල්  ගහලා තියෙනවා එවුවා පේන්නෙත් නෑ.


ගිය පාර ප්‍රාදේශිය සබා දිනලා මන්තිරිකමක් ගත්ත එගොඩ සජිත් ඇති තරන් හොරකන් කරා කියලා තමයි ගමේ මිනිස්සු කියන්නේ.නිධන් දෙකතුනකුත් ගොඩදාගත්තළු. දැන් ඔය වාහනයක් දෙකක් තියන් හිටියත් ඊගාව ඡන්දෙට ඡන්දෙ හිඟාගෙන ආවොත් කොස්සෙන් ගහනව කියල කියනවා මට ඇහිලා තියෙනවා.


ඉතිං ඔය ගමේ ඇටෙන්ඩන් පට්ටමක් අරගත්තු එවුන් ඉන්නේ මහ ඉස්පිරිතාලේ මිසීලා වගේ. මිසී පට්ටමක් ගත්තු එවුන් ඉන්නේ මහ ඉස්පිරිතාලේ දොස්තරලා වගේ. හොඳ වෙලාවට දොස්තර පට්ටමක් ගත්ත එකෙක් ගමේ නෑ. හිටියනම් ඉඳියි මහ රජ්ජුරුවන් වහන්සේ වගේ.එක දවසක් බදුල්ලේ ඉස්පිරිතාලෙ කිලිනික් එකට ගිහින් ඇවිත් අපේ ආච්චි ඇටෙන්ඩන් පට්ටමක් දරන ........ අක්කාට බැනවදිනවා මට ඇහිලා තියෙනවා.


“නොදකින් අර ඉස්පිරිතාලේ අතුගාන නල්ලමලේ බඩ්ඩ. මම තුංඩුවක් ගන්ඩ පොලිමේ ඉද්දි මාව දැකලත් නොදැක්කා වගේ අහක බලාගෙන ගියානේ. තුංඩුවක් අරං දෙන්න වෙයි කියලා වෙන්ඩ ඇති. නොදකින් ඕකි හිතං ඇති ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා ඒකී කියලා. යකෝ අපිත් වත්තේ පුල්ලේ කාමරේ වැඩ කරපු ගෑණු. ආවදෙන්කො ඕකිගේ මහ එකී.. පට්ටන්තර කියවන්න. කියලා දෙන්නං මම ලුණු ඇඹුල් ඇතුව“


ඉතිං ඔය අමුතු ගමේ මිනිස්සුන්ට අමුතු ලෙඩක් තියෙනවා. ඒ තමයි අනුන් කරන දේ කිරීම. කවුරු හරි සැටලයිට් ඇන්ටනාවක් ගෙනැල්ලා වහලක හයි කරලා තියෙනවා දැක්කොත් මුළු ගමේම එවුන් සැටලයිට් ඇන්ටනා ගේනවා. ගෙදර ටීවී එකක් නැතත් සැටලයිට් ඇන්ටනාවක් ගෙනල්ලා හයි කොරගන්නවා. ටෙලිකොම් ලයින් තියෙන ගෙවල් වලට පියෝ ටී.වී ගන්න පුලුවන් උනත් ඒක ගමට නොපෙනෙන නිසා එවුමුත් සැටලයිට් ඇන්ටනා ගෙනල්ලා ගමට පේන්න හයි කරගන්නවා.


එක කාලයක් ගමට තිබ්බා ටුවෙල් ටෙන් ලොරි උණක්. උක්කුවා පිනෑන්ස් කරලා ටුවෙල් ටෙන් ලොරියක් ගෙනාවේ මේකෙන් කරන්නේ මොනාද..දුවන්න හයර් තියෙයිද කියලා පූර්ව නිගමනේකින් තොරව.. ඉතිං කීයද්දෝ හොයාගෙන අතිමුත් සල්ලි දීලා පිනෑන්ස් කරලා ලොරිය ගෙනල්ලා ගෙට උඩින් පාරේ නවත්තලා තිබ්බා. වැඩක් නෑ. ගඩොල් අදිනවා.. එළවළු අදිනවා... දළු අදිනවා ... තේ පෙට්ටි අදිනවා... බජාර් බඩු පටවනවා... එක එක මනෝ විකාරයන් උක්කුවගේ හිතේ ඇඳිල තිබ්බත් එක වැඩක්කත් හම්බුන්නෑ. දැන් උක්කුවා ලොරියක් ගෙනාව ගමන් ගමේ උන්ට ඉන්ඩ බෑ. අපේ ආච්චිනන් කියන්නේ උන්ට දැවිල්ල හැදෙනවා කියලා. ගමේ එවුන් හය හත්දෙනෙකුත් ලොරි ගෙනාවා. පිනෑන්ස් කරලා තමයි. උන්ටත් ඉතිං කරන කර්මාන්තයක් ගැන මෙලොව සැලසුමක් නෑ. උක්කුවාට පුලුවන්නම් අපිට බැරි මොකද? ඉතිං උමුත් ලොරි ගෙනල්ලා පාරේ උඩ නවත්තලා තිබ්බා. මාස දෙක තුනක් ගියාම උක්කුවගේ පිනෑන්ස් ඇරියස් වෙලා ලොරිය පිනෑන්ස්සෙකෙන් ඉස්සුවා... ඊගාව මාසේ.. ඊගාව මාසේ වශයෙන් අනිත් ලොරිත් පිනෑන්සෙකෙන් ඉස්සුවා. දැන්නන් ගමේ එක ලොරියක්කත් නෑ.


ත්‍රීවීල් කෙරුවාවත් ඔය වගේම තමයි. ගමේ සැලකිය යුතු ත්‍රීවීල් ප්‍රමාණයක් පිනෑන්සෙකෙන් ඉස්සුවා. දැන් තියෙන්නේ ගෙවල් හැදිල්ලේ පිස්සුවක්. ගමේ එකෙක් ගෙයක් හදන්න පටන්ගත්තම මුලු ගමම ගෙවල් හදන්න පටන් ගන්නවා.


ඉතිං කවුරු හරි ලොරියක් ගත්තොත් මුලු ගමම ලොරි ගන්නවා. කවුරු හරි සැටලයිට් ඇන්ටනාවක් ගත්තොත් මුලු ගමම ඇන්ටනා ගන්නවා. කවුරු හරි ත්‍රීවීල්ලෙකක් ගත්තම මුලු ගමම ත්‍රීවීල් ගන්නවා. කවුරු හරි ගෙයක් හැදුවම මුලු ගමම ගෙවල් හදනවා. කවුරු හරි ගෑණියෙක් ගෙනාවම මුලු ගමම....................... ආ...නෑනේ..


තව ඔය දැන් ඉන්න පොඩි එවුමුත් අමුතු වෙලානේ. අවුරුදු දොලහ දහතුන වෙද්දි උන් බියර් ටින් එක කටේ හලාගන්න පුරුදු වෙනවා. තව ඔය කෙල්ලෙක්ට පැණි හලන්න වගේ ඒවටත් යොමු වෙනවා. අවුරුදු දාසයේ දහ අටේ කොල්ලෝ ගංජා සුරුට්ටුව ගහන්න සොහොන් කන්දේ පඩිපෙල දිගේ නගිනවා. උන්ට ඔය ඔන්චිල්ලා හැදිල්ල අවුරුදු උස්සව පැවැත්වීම චක් ගුඩු පැනීම පංචා ගැහිල්ල වගේ අපි පුංචි කාලේ ලබපු අත්දැකීම් ලැබෙන්නේ නෑ. කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඕවගෙන් මිදිලා උසස් අධ්‍යාපනයේ පල නෙලාගෙන සරසවියට යනවා. ඒක වෙන්නේ ගොඩාක් කලාතුරකින්.කෙල්ලෝ ඉතිං බස් කොන්දොස්සරලාගේ ත්‍රීවිල් කාරයන්ගේ වගේ එවුන්ගේ බැල්මට වසඟ වෙලා කලින්ම විවාහ දිවියේ මිහිරියාව විඳගන්නවා. සඳ පහන් රැයේ තමන්ගේ සහකරුවා සමඟ ගෙයින් හොර රහසේ නික්මෙනවා. උන් දන්න ලොකුම රස්සාව තමයි බස් කෙරුවාව..ත්‍රීවීල් කෙරුවාව..ඩෝසර් කෙරුවාව.. අවුරුදු දහඅට දහ නවය වෙනකොට පොඩි එක්කුත් වඩාගෙන එහෙට්ට මෙහෙට්ට දුවනවා. හරියට අපි බන්දලා දුන්නා වගේ. තවත් සමහර කෙල්ලෝ බස් ඩැයිවර්ලගේ කොන්දොස්සරලගේ ත්‍රීවීල් කරයන්ගේ ඩෝසර් කාරයන්ගේ හාලි ඇල්ලේ මුස්ලිම් කොල්ලන්ගේ ඇමට අහුවෙලා රැවටිලා ජීවිතේම කාලක්න්නි කරගන්නවා. ත්‍රීවීල් කාරයෝ .. ඩෝසර් කාරයෝ.. බස් කාරයෝ.. අඩියක් ගැහුවම ඉතිං තමන්ගේ කෙරුවාව පුරසාරම් විදියට අතිමුත් බොරු ගොඩක් දාලා තැන තැන කියවනවා.

“මම ඕකිව අරං අරෙහේ ගියානේ..මෙහේ අරං ගියානේ“

 වගේ මෙතන ලියන්න බැරි ඒවත් කියෝනවා. එතකොට ඉතිං ඕවා ගම්වල ප්‍රසිද්ධ රහස් බවට ග්‍රන්ථාරූඪ වෙනවා.ගෑණුනම් ඉතිං තමන්ගේ මිනිහට අමතරව තවත් අතිරේක මනුස්සයෙක් හරි දෙන්නෙක් හරි හොයාගෙන ඌව ගොනාට අන්දගෙන පූර්ණ පරපෝෂිතයෙක් විදියට ජීවත් වෙනවා. අර මිනිහගේ මුලු සේසතම අවශෝෂණය කරගන්නවා. ඒ මිනිස්සුත් ඉතිං පුංචි ආස්වාදෙකට තමන් හම්බු කරගත්ත සේසතම දන් දීලා කන්ද දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්නවා. ඔය මිනිස්සුත් බිව්වම තැන තැන ඔව්වා කියව කියව ඇවිදිනවා. ගෑණු වගේ.


ඉතිං තමන්ගේ මිනිහගෙයි අනියම් බිරියගෙයි පයිරු පාසානම නියම බිරිඳගේ කනේ ගැටෙන්නේ තමන්ගේ මිනිහා නට්ටං උනාට පස්සේ. පස්සේ ඉතිං ඔය ගෑණු දෙන්නා නයයි මුගටියයි වගේ තමයි.


“ඈ බොල තෝ අපේ මිනිහව රවට්ටගෙන උගේ සේසතම ඩැහැගත්තා නේද පරට්ටී.. පාර හදනකන් පාරේ වැඩට ආපු ඔක්කොම එක්ක බුදියෑවා. දැන් ගමේ එවුන් එක්ක බුදියනවා“


එකෙක් එක් ඇඟිල්ලක් තවෙකකුට දිගු කරද්දී අනෙකා ඇඟිලි කීපයක් දික් කිරීම හෙවත් සියළු ගැහැණුන් එකම බෝට්ටුවක...................


“කවුද බොල තොගේ මිනිහ රැවැට්ටුවේ. රවට්ටන්න පොඩි බබානේ. ඌනේ බොල අපේ ගෙවල් පැත්තේ රූටන්න ගත්තේ. මම ආවයැ තොපේ දිහා. තෝත් බුදියෑවෙ බොල ඩෝසර් කාරයෙක් එක්ක.“


“මොනාද බොල කිව්වේ වේ$ වේ$කම් කරලා තව කියවන්නත් එනවා“


“ඩිෂුම්..ඩිෂූම්..බුෂා.. බුෂා..බුෂා..බුෂා“


දැන් ඉතිං අර සුද්ද සිංහල කුණුහර්ප කිය කිය හිංගල චිත්‍රපටිවල සටන් ජවනිකා එහෙමත් රඟදැක්වෙනවා.


(තව කෑල්ලක් ලියන්ඩත් හිතයි. බලමු...)