බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, August 2, 2017

බෝතල් අවුරුද්ද 03




ඔය අපේ කලුබංඩෙ බාප්පා ඉන්නව නේද? ගමේ මිනිස්සු උන්දැට කියන්නේ ගොඩ ග්‍රාම සේවක. ආය උජාරුවෙන් තමයි ගමේ උඩහ පහල යන්නේ. දික් කලිසම අද්දිග ෂර්ට් එකයි ඇඳගෙන. නිල් පාට රාජ ඌෂ්නේ. ඉස්සර බදුල්ලේ ......... ඇමතිතුමා පස්සෙමයි. ඒ වරම උඩින් දාගෙන ගමේ කීප දෙනෙට්ට රස්සා දෙනවා කියලා සල්ලි අරං මඟ ඇරියා කියලා කතාවක් තාමත් ගමේ උඩහ පල්ලැහැ දුවනවා.
ඇයි ගිය ජනාධිපති ඡන්දෙ කාලේ ඡන්ද අල්ලස් වශයෙන් බෙදන්න ගෙනාපු කිඹුලා උදළුතල සිය ගානක් මිනිහගේ ගෙදර ගොඩගහලා තිබ්බා. කවුරුත් නොහිතපු විදියට ආණ්ඩුව පෙල්ලුනා. කවුරු හරි ඔත්තුවක් දීලා පොලීසියෙන් ඇවිත් මිනිහවයි උදළු තල ටිකයි කුදලගෙන ගියා. ඉතිං හිරේ ලැගලා අපු දවසේ ඉඳං මිනිහට නමකුත් පට බැඳුනා. දැන් “උදළු බංඩේ” කිව්වොත් නොදන්න එකෙක් නෑ ආය.


ඔය ජාතියාලේ මතකද? එහෙම නැත්තන් නමසිය අසූ තුනේ කලු ජූලිය කියන්නෙත් ආං ඕකට තමයි. ජාතික ආලේ තමයි ඔය ජාතියාලේ වෙලා තියෙන්නේ. ජාතික ආලේ කියන්නේ මහ ජාතිය විසින් සුළු ජාතිය තලා පෙලා දැමීම. ඔය කලු ජූලිය ඇති වුනේ සිංහල දෙමල මිනිස්සු අතර. ඒක ඒ මිනිස්සු තලා පෙලා දැමීමට වඩා තනිකරම ඒ මිනිස්සුව කොල්ලකෑමක් තමයි සිද්ද වුනේ. මම නෙවෙයි කියන්නේ අපේ උක්කුබංඩේ ලොකු තාත්තා. ඉස්සර උන්දැ අපේ ගෙට උඩ තියෙන පාරට ඇවිල්ලා 
ඔය වගේ කතා කියව කියව ඉඳලා යනවා.

“හාලි ඇල්ලේ සුමිතුරු මුදලාලි විජේ මුදලාලිලා දියුණු වුනේ ඒ කාලේ ඔය දෙමල කඩ මංකොල්ල කාලා තමයි.”

“ඉතිං ඒ කාලේ බදුල්ලේ ඔය මොඩන් පිචර් හෝල්ලෙකයි එත්විල් පිචර් හෝල්ලෙකයි අයිති වෙලා තිබ්බෙත් දෙමල මුදලාලි කෙනෙට්ට. දැන් ඉතිං බදුල්ල ටවුමේ දෙමල කඩ හෝ ගාලා ගිනි තියනවා. මුලු ටවුමම එකම ගිනිගොඩක්. ඇයි කඩ ගොඩ හරිය අයිති වෙලා තිබ්බේ දෙමල මිනිස්සුන්ට. ඒ අතරේ වටේ ගම්මාන වල සිංහල මිනිස්සු ඇවිල්ලා ගින්න මැද්දේ රත්තරං බඩු කඩයි රෙදි කඩයි අනික් සිල්ලර කඩයි කොල්ලකන්ඩ පටන් ගත්තා. ඔය සුමිතුරු මුදලාලිලත් විජේ මුදලාලිලත් ඕකම තමයි කරේ. දැන් රත්තරං වලින් නාගෙන හිටියට ඒ කාලේ ඕකුන්ට පස්ස කහගන්ඩ නිය තිබ්බේ නෑ. ඉතිංහැම මිනිහම කඩ වලට පැනලා වටිනා කියන දේවල් ඇරගෙන යද්දි මීගහකිවුල පැත්තෙන් ආපු මිනිහෙක් කඩේකට පැනලා ඒ කාලේ තිබ්බ ඉලක්කම්  කරකවන ටෙලිපෝන්නෙක්ක වයර් කපාගෙන ගෙදර අරං ගියාළු. හැක් .. හැක්... මිනිහගේ හිතේ ඕක තමයි ඒ කඩේ තිබ්බ වටිනාම වස්තුව කියලා ...හැක් ... හැක් “

දිට්ඨ ධම්ම වේදනීය කර්මෙ හැබෑ වුනා. ලක්සෙට කොඩි දාන් හිටිය සුමිතුරු මුදලාලිගෙයි විජේ මුදලාලිගෙයි ව්‍යාපාර මේ ලිපිය ලියනකොට අලු සුන්නද්දූලි වෙලා ගිහිං.

“ඕවා යා දෙන්නෑ චූටියෝ”

තවත් බීඩියක් පත්තු කරගෙන ගෙදර යන්න අමාරුවෙන් නැගිටින ගමන් අපේ ලොකු තාත්තා කියපු වචන අද උන්දෑ ජීවත්ව නැතත් හැබෑ වෙලා.


ගිය අවුරුද්ද ඉවරවුනාට පස්සේ අපේ රාජධානියේ ප්‍රමිලා දේවියක් දස්කොන් කෙනෙක් එක්ක උඩුවර ලැගුම්හලකට තුන් රෝද රථයකින් යනවා රාජ පුරුෂයෙක්ට මාට්ටු වෙලා තියෙනවා. ඔය රාජපුරුෂයන්ට හොරෙන් අධෝවාතයක්කත් යවන්න බැරි රාජධානියක් මේක. ඉතිං රාජ පුරුෂයා ඇවිත් මේක රාජ්‍යයේ තැන තැන කෙල හලන බව දැනගත්තු දස්කොන් ආපහු ඇවිත් මේ ගැන කටේ කෙල බිඳක් නොහලන බවට රාජපුරුෂයා සමඟ ගිවිසගෙන අල්ලස් වශයෙන් හාලිඇල්ලේ ප්‍රියන්තයගේ තැබෑරුමෙන් රා කල සොලොසක් පොවා පිටත්කර ඇරලා තිවුනා. ඔය සුරාව කටේ හලාගත්තට පස්සේ මොන රහස් රැකිලිද??? ඉතිං පහුවෙන්දා ඉඳං ඔය ප්‍රවෘත්තිය රාජධානියේ බල්ලෝ බළල්ලුන්ට පවා සම්ප්‍රේෂණය වෙලා තිබ්බා.
ඉතිං ඔය අපේ ගමේ විතරක් නෙවෙයි රටේම ව්‍යවසනයක් වගේ පැතිරෙන අනියන් සම්බන්ධතා ගැන නොක්ස් උන්නැහේගේ කතාවත් කියවලාම කතාවේ ඉතුරු හරියට බහිමු.


මෙරට තරුණයෝ සලෙළු ජීවිතයකට උපන්නෝ නොවෙති.(ඒකනම් මසුරන්) 
 මේ රටෙහි නීතියෙන් බලය ලද ගණිකා නිවාස නැත්තේය. එහෙත් මේ වෘත්තියේ නිරත වන අය නගරයේ නැත්තෝද නොවෙති. මොවුන් හට නොයෙක් වර කස පහර දීම් හිස මුඩු කිරීම් ආදි දණ්ඩන දෙන ලද නමුත් ගණිකාවන් සැපයීමේ  නීච වෘත්තියේ යෙදෙන්නෝ අතරින් පතර අසුවෙති. අබිරහස් වශයෙන් මෙම කටයුතු කෙරෙතත් අසු නොවී නිදහසේ යන්නෝ ස්වල්ප දෙනෙක්ම වෙති. දරුවන් ඇතිවීමේ කරදරය හේතු කොටගෙන බොහෝ තරුණ ස්ත්‍රීහු මෙම පහත් වෘත්තියේ නිරත නොවෙති. එසේ වුවද දරු උපත් වැලැක්වීමේ අති සියුම් උපක්‍රමද ඔවුහූ නොදන්නාහු නොවෙති.

ප්‍රසිද්ධියේ මෙබඳු දේ කිරීම නුසුදුසු බව දන්නා නමුදු දිවි පෙවෙත රක්නා පිණීස දුප්පත් ස්ත්‍රීහු මෙම ක්‍රියාවෙහි නිරත වෙති. ඔවුන් බොහෝ දෙනා ගණිකා කර්මය කරතත් වෛශ්‍යා නාමයටනම් එකෙකුත් කැමති නොවෙත්. ස්වකීය වල්ලභයා තමාගේ කුලයට ගැලපෙන කෙනෙකු වුවහොත් එය ප්‍රමාණවත්ය. මෙම අභිරහස් සංගම් ස්වකීය සැමියන් හට නොදැනෙන පරිද්දෙන් සඟවාලීමට ඔවුහූ සහජයෙන්ම දක්ෂය.

පුරුෂයාද ස්ත්‍රියගේ රහස් දැනගැනීමට පුරුදු පුහුණු වී සිටින බැවින් ස්ත්‍රියගේ මායම් වලින් හැම විටම ඔහු මුලා කිරීම උගහටය. එහෙත් ස්වාමිපුරුෂ තෙමේ බඩුත් සහිතව සොරා හමුවනතුරු සිය බිරියගේ වරද ඔප්පු කිරීමට කලබල නොවන්නේය.
මේ රටේ නීතියනම් සිය බිරිය සොර සැමියකු සමඟ සිටිනු අසු වුවහොත් සොර සැමියා කවරකු වුවද දෙදෙනාම එතැන මරා දැමීමයි. ගෙහිමියා හදිස්සියෙන්ම ගෙදරට පැමිණි විට ගෙය තුල සිටින සොර සැමියාට පලා යන්නට මඟක් නොවීනම් ඔහුට නියතයෙන්ම මරණය අත් වන්නේය.මෙබඳු ආකාශ්මික අවස්තාවක ඇතැම් මායාකාර ස්ත්‍රීහු අලු කුල්ලක් අතින් ගෙන ගෙයි දොර ඇර හිමියා ගෙට ඇතුල්වත්ම දෑස පුරා යන සේ අලු කුල්ලෙන් ඔහුගේ මුහුණට ගසන්නීය. ඇස්හි අලු ගසාලා මාරකයකින් තමාද බේරී සිය සොර සැමියාත් බේරා ගන්නීය.

ගෙදරදී සොර සැමියකු සමඟ වාසය කිරීමට සැමියාගෙන් කිසි විටෙක ඉඩ ප්‍රස්තාවක් ලබාගත නොහැකි වුවහොත් හිමියා ගෙදර දරුවන් බලාගනිමින් සිටියදී බිරිය සිය සොර සැමියා කැලෑවේදී මුණ ගැසෙන්නට නියම කර ගනියි. කැලයෙන් දර කඩාගෙන ඒම සහ සන්ද්‍යාවේ හරකුන් ගෙදර දක්කාගෙන ඒමත් ස්ත්‍රීන් සතු කාර්යයක් නිසා කැලෑවෙහිදී මේ රහස් හමුවීම පල දරන්නේය. සමහර ස්ත්‍රීන්ගේ සොර සැමියන් ඔවුන් හමුවීම පිණිස අඳුරෙහි පැමිණ ඔවුන් හමුවන අවසරයක් පතා රෑ බෝවන තුරු ගෙය පිටිපස බලා සිටිති. කලින් කරගත් නියමයන් අනුව කෝටු කැබෙල්ලක් බිඳීම හෝ බුලත් කොල කැබැල්ලක් වහලයත් බිත්තියත් අතරින් මුලුතැන් ගෙට දැමීමෙන් තමා පැමිණි බව සොර සැමියා සිය රහස් මිතුරියට දන්වන්නේය. එබඳු නියමයක් කලින් ඇති කරගත් කල්හි එම නියමටය ඉටු නොකර සිටීමට ඇයට ශක්තියක් නැත්තේය.

ස්ත්‍රීන් ස්වභාවයෙන්ම ස්වකීය සොර සැමියන්ට දැඩි ලෙස ප්‍රේම කරන බව මා අසා ඇත්තෙමි. යම් අවධියක සොර හිමියා ගෙයි සිටියදී හරි හිමියා ගෙට පැමිණියහොත් ස්වකීය සොර හිමියා බිත්තියට උඩින් හෝ පන්නවා ඔහුට ලැබෙන්න තිබූ දණ්ඩනය තමාම ලබාගැනීමට තරම් ස්ත්‍රීහු  ස්වකීය සොර සැමියාට ප්‍රිය කරන්නාහ.කිසියම් අවස්ථාවක තමන්ගේ හොර හිමියන් හා      සමඟ දිගු ප්‍රීතියක් භුක්ති විඳින්නට ස්ත්‍රියකට සිතුනහොත් සිය සැමියා හා සමඟ බොරු වරදකට බොරු දබරයක් කරගෙන “තරහ” වී බැහැර ගමකට ගොස් හොර හිමියා සමඟ හොර රහසේ වෙසෙන්නේය. ඇතැම් අවස්ථාවලදී මිනිසුන් ඔවුන්ගේ ස්ත්‍රීන්ට හා දූහිතෘන් හටත් සෙසු අය සමඟ කාම සේවනයට අවස්ථාව දෙති. ඉතා හිත මිතුරන් හා දිසාපතින් ආදි අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි ඔවුන් හට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්‍රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරිඳට හෝ දියණිවරුන්ට අවසර දෙන්නේය.

විවාහයට පෙර සිය බිරිය කුමරි බඹසර රැක සිටියද නොසිටියද එහි ඇති වැඩිමනක් වෙනසක් නැත්තේය. ඉතා අල්ප වූ පරිත්‍යාගයක් ලබා මවක් ස්වකීය දියණිය ආවාහයට කැප කරන අවස්ථාව නැත්තේ නොවේ. එසේ වුවත් වංශවත් වනිතාවෝ කිසි කලක කුල හීනයන් ප්‍රිය නොකරන්නාහ.
මෙම අශෝබන ප්‍රවෘත්ති වාර්තාව මෙතනින් සමාප්ත කොට දැන් ශෝබන දේ ගැන කතාවට බහිමු.

-එදා හෙලදිව “රොබට් නොක්ස්” 1696-

*********************************************************************************

දැන් ඉතිං පරණ අවුරුද්ද ... ආච්චිනන් ලිත දිහා බලලා පරණ අවුරුද්දේ ස්නානය කරන්න පල්ලැහැ ඇලට යනවා. බේබදු නඩේනම් ඉතිං ආය පරණ අවුරුද්ද කියලා නෑ තාමත් බිබී පාරේ උඩහට පල්ලැහැට ඇවිදිනවා. හමුදාවෙ ඉඳං නිවාඩු ආපු උන් ගෙවල්වල නැතත් උන්ගේ කැසට් එකේ සද්දේ බෆල් හරහා නොනැවතී ඇහෙනවා. ඕක නවත්වන්න ඒ ඒ නිවාස වල හිමියන් හෙවත් ඔවුන්ගේ මවුවරු පියවරු නොපෙලඹෙන්නේ ලුණු ඇඹුල් ඇතිව මිහිරි පද අසාගැනීමට ඇති අකමැත්ත මතයි.
නොනගතේ ලබන්නේ හවස හයයි හතලිස් දෙකට. අපේ අම්මත් හරියටම අවුරුද්දකින් කඩෙන් ගෙනාපු එවරෙඩි බැට්රි කෑලි හතර මගේ අතට දෙනවා. රේඩිවෙකට දාන්න. අගහිඟකම් වලින් පිරිච්ච අපේ ගෙදර මුලු අවුරුද්ද පුරාම රේඩිවෙක අහන්නේ කන්දෙගෙදර අයියලාගේ ගෙදර කෑලි හතරේ ටෝච්චෙකෙන් අහක දාන බැට්රි. එවුවත් බැස්සම බැට්රි කෑලි අවුවේ දාලා වේලලා ආය රේඩිවෙකට දාලා තවත් ටිකක් කල් අහන්න පුලුවන්. මේ ලියුම ලියනකොට ඒ කාලේ ලංකාවේ තුඩ තුඩ රැඳිච්ච නාමයක් වෙච්ච එවරෙඩි කොම්පැණියත් ලංකාවේ ව්‍යාපාර අකුලන් ගිහිල්ලා තියෙන්නේ. සියළු සංසකාරක ධර්මයෝ නැසෙන සුලුය.
තාත්තා මැරුණට පස්සේ සීටීබී එකෙන් පන්ට්ටෙක විදියට ලැබිච්ච රුපියල් 5000න් තමයි ඔය යුනික් රේඩිවෙක අම්මා අරං ආවේ. මේ කාලේ වගේ ඒ කාලේ එෆ් එම් තිබ්බ එකක්යෑ. සෝට් වේව්ස් මිඩිල් වේව්ස්.

“කරගහතැන්නෙන් මෙගහර්ට්ස් විසි දෙක ... රදැල්ලෙන් මෙගහර්ට්ස් හතලිහ ඒකලින් කෙටි තරංග මීටර් විස්ස ..හුන්නස්ගිරියෙන් මෙගහරට්ස් හතලිස් දෙක ඔස්සේ මහනුවර සේවයේ වැඩසටහන් මෙතැන් සිට ගුවනට මුසු වෙයි...”

“සොරෝස්....සොරෝස්ස්ස්ස්ස්”

ඔය තරංග දුරුවලයි. එෆ් එම් වගේ නෙවෙයි.

“චූටි ඕක වහලා තියපං .. බැට්රි බහිනවා.”

එහෙම තමයි අපේ අම්මලා අපිට අරපිරිමැස්ම ඉගැන්නුවේ.

“චූටි ගිහිං පාරේ හුඹහෙන් පස් ටිකක් කපං වරෙං”


අම්මා ගොම ගාන්න යන්නේ. මං ඉතිං හොඳටම ගෙවිච්ච උදැල්ලයි යූරියා බෑක් එක්කුයි අරං පාරට ගිහිං වේයන්ට අයිති ගේ බිච්චි බිඳගෙන එනවා. බිච්චි බිඳිනකොට කේන්ති ගිය මහා විසාල නයෙක් හුඹස් කටෙන් එලියට පැනලා මට දෂ්ඨ කරනවා චිත්‍රපටියක් වගේ මැවි මැවී පේනවා.

දැන් කුස්සියේ ගොම ගෑවොත් නොනගතේ ගෙවිලා ඉවර වෙලා ලිප පත්තු කරන්න යන වෙලාව වෙනකොට ගොම ගානට වේලිලා තියෙන බව අම්මා අද්දැකීමෙන්ම දන්නවා.

“ඇයි කමලෝ ඕක ඊයේ රෑ ගාලා තියන්ඩ එපැයි.”

“කැවුම් බැදලා ඉවර වෙද්දි ඊයේ රෑ දෙගොඩහරියත් පහු උනා. තාම වැඩ ඉවරයක් නෑ. “

දැන් ඉතිං හුඹස් මැටියි ගොමයි වතුරයි මිශ්‍ර වෙච්ච පල්පය ලිපෙන් පටන්ගෙන මෙහෙට්ට මෙහෙට්ට රටාවට අම්මා ගාගෙන ගාගෙන එනවා. ආච්චි ඕක දිහා බලාගෙන ඉන්නවා.

“ සොහොන් කන්දේ කසිප්පු පෙරනවලු. අප්පා කන්ද හෙලේ නගිනවා දෙතුන් විඩක් සුමනා දැකලා තියෙනවා. දැන් රොත්තම සොහොන් කන්දෙලු”

“නෑ????”

“ඔව් මේ දන්සිරියත් ගෙදර නෑ.. අනිවාර්යෙන් හැත්ත වරිගෙත් එක්ක ඇති ... ඌත් එක්ක චූටියත් කන්ද නගිනවා සුමනා දැකල තියෙනවා”

“චූටි”

“ඇයි”

“මෙහෙ වර”

“ඇයි”

“තොට මං කොච්චර කියල තියෙනවද ඔය දන්සිරියත්තෙක්ක එහේ මෙහේ රස්තියාදුවේ යන්න එපා කියලා. තෝ කසිප්පු පෙරන්ඩද සොහොන් කන්දෙ නැග්ගේ?”

“හෝස්සෙකක් අරං ගියේ”

“හෝස්සෙකක් අරං ගියේ... තොට මම “

“චටස්...පටාස්ස්ස්...”

“අම්මෝමෝමෝ.....”

“එපා බං ඕකට තලන්ඩ අර බලපං ඇඟ පුරාම ගොම. අනේ කමලෝ උඹත් ...”

“අනේ අම්මත් කට වහං ඉන්න.. මුංව හදාගන්ඩ බැරි අම්මයි දන්සිරියයි හිංදා”

ඔන්න දැන් අම්මගෙයි ආච්චිගෙයි ගෝරිය ඇදෙද්දි ගොම හෝදගෙන නාගන්ඩ සල්ලයිට් කැටෙත් අරං මම ඇලට දුවනවා.

ඉතිං ගොම ගාලා ඉවරවෙලා අම්මත් ඇලට ගිහිං නාගෙන එනවා. දැන් ඉතිං වැඩ ඉවරයි.

“සංගරාන්දි ලබන්නේ කීයටද චූටියෝ”

“හයයි හතලිස් දෙකට”

“කරුවලේම එපැයි පංසල් යන්ඩ. මේ පාර නැකැත් කරුවලටම වැටිලා??”

දැන් ඉතිං අපේ ගෙවල් පලාතම එක එක කැවිලි පුසුඹින්  පිරිලා. කැවුම්..කොකිස් .. අලුවා .. පොල්ටොපි ..කිරිටොපි ..සිල්ලර ...තව...තව..තව ..
තෙල් බහින්න කඩදාසි වලින් වහලා තියෙන දොදොලේ උඩ ඉහලා තියෙන රට කජු එකාට එකා හොරෙන් ගිහින් ඇදලා කටට දාගන්නවා. අම්මා ඉතිං හවස බලද්දි රට කජු ඇටයක්කත් නැතිව රටකජු ඇට වල බ්ලොක් දොදොලේ ඉතුරු වෙච්ච  බව දැක්කාම ඌරු ජුවල් නගිනවා.

“ඔය බලපල්ලා ...රට කජු ඇටයක්කත් නෑ .. අනේ මුන්ට බඩ යන්නෑනේ.. මම කට කැඩෙනකන් කියනවා හොරා කන්ඩ එපා කියලා.”

ඔන්න නොනගතේ ලබන්ඩ කලින් දන්සිරි අයියා යූරියා මල්ලක් කරේ තියන් දෝවේ සීයලගේ ගෙවල් දිහායින් හොරගල් අහුල අහුල ගෙයි පිටිපස්සට සේන්දු වෙනවා. ආච්චියි අම්මයි අක්කයි පුංචියි පංසල් යන්ඩ ලක ලෑස්ති වෙනවා.

“කෝ ආච්චි”

පිටිපස්සේ ජනේලේ ගාවට ආපු දන්සිරි අයියා මගෙන් අහනවා.

“පංසල් යන්ඩ ලෑස්ති වෙනවා”

“ආය කවුද යන්නේ?”

“අම්මයි .. පුංචියි”

“උඹත් යනවද?”

“නෑ”

“මම මෙතන ඉන්නවා ගියාම කියපං”

පිටිපස්සේ කෙහෙල් පඳුර ගාව දන්සිරි අයියා හොරගල් අහුලනවා.

“චූටියෝ උඹ යන්නේ නැද්ද පංසල්”

“නෑ ආච්චි”

“එහෙනම් අපි යනවා .. ගේ බලාගෙන හිටිං. පූසෝ පනියි ඔය කැවිලි වලට”

නොනගතේ ලබනවා. නැත්තං සංගරාන්දි ලබනවා. ඔය නෙලුදණ්ඩ පැත්තෙන් ගලබොඩැල්ල පැත්තේ සෙන්ජේමිස් වත්ත පැත්තෙන් වගේම අපේ ගමෙනුත් තරඟෙට රතිඥ්ඥා හඬ රැව් පිළිරැව් දෙනවා.

“දන්සිරි අයියා කට්ටිය ගියා....”

“එහා පැත්තෙන් වරෙන්කෝ..”
දන්සිරි අයියා යූරියා බෑක්කෙක දිගඅරිනවා.

“ටිලිං..ටිලිං..ටිලිං..”
බෝතල්.. කසිප්පු බෝතල්.

“මෙතන බෝතල් දාසයක් තියෙනවා. හංගන්ඩ ඕනි.. කොහේද හංගන්නේ.”

“තිලකේ මාමලගේ පැලේ දුම්මැස්සේ හංගමු. මේ ටිකේ තිලකෙ මාමා කුඹුරෙ එන්නෙත් නෑනේ”

“ඔව් නේද යමං යමං..”
දන්සිරි අයියටත් හොඳටම වෙරි. කසිප්පු ගඳ කතා කරන හැම වචනයක් ගානෙම මට දැනෙනවා.

“බෝතල් හැටක් පෙරුවා. ඉතුරු ටික වික්කා. මේ ටික කොල්ලන්ට බොන්ඩ”
ඔහේ වැනි වැනී දන්සිරි අයියයි මායි තිලකේ මාමලගේ පැල දිහාට ගෑටුවා.
සංගරන්දි ලබපුවම අනුන්ගේ ගෙවල් වලට යන්න හොඳ නෑ. සල්ලි ගනුදෙනු කරන්න හොඳ නෑ. කන්න බොන්න හොඳ නෑ. උපවාසේ.. මේ කාලයේ පංසල් ගිහිං පිං දහම් තමයි කරන්න ඕනි. ඒත් බේබදු නඩේටනම් ඕවා වලංගු නෑ.

“දන්සිරී..දන්සිරී”

“ඇයි මන්තිරී”

“කෝ බං “

“මෙහේ වරෙන්කෝ”

මංතිරි අයියා පඩිපෙල බැහැගෙන අපේ ගෙවල් දිහාට රූටනවා.

“කෑගහන්න එපා බං.. මුලු ගමම දන්නව දැන් සීන්නෙක. තිලකේ මාමලගේ පැලේ හැංගුවා.”

“දැන් ගහන්ඩ මොකුත් නැද්ද?”

“චූටි අර කෙහෙල් ගහ මුල බෝතලයක් ඇති අරං වරෙන්”

මාත් ඉතිං කෙහෙල් ගහ මුලට සෙනිකව ගිහිං කරුවලේම මූඩිය කරකවලා ගුඩුස් ගුඩුස් ගාලා සොට් දෙක තුනක් හලාගන්නවා. පස්සේ පේර ගහෙන් කොලයක් කඩලා කටට දාගන්නවා.

“යකෝ මේකෙන් අඩු වෙලානේ..”

“ඇල වෙලා තිබ්බේ මූඩියෙන් ලීක් වෙන්ඩ ඇති. මූඩියෙන් ගිහිං තිබුණා එතන.”

මන්තිරි අයියත් බෝතලේ අරං ගුඩුස්.. ගුඩුස් .. මොන සැන්ඩිද? දන්සිරි අයියා බිස්ටල් එකක් පත්තු කරගන්නවා. මාව කැරකෙන්ඩ ගන්නවා.. අමුතු ලෝකෙක.. ලඟ ඉන්න දෙන්නගේ කතාබහ දුරින් දුරින් ඇහෙනවා.. මගේ ඇස් පියවෙනවා.. බිත්ති අත ගගා මම ඇඳ හොයාගෙන යනවා..

“අහා... මුද්‍රික පානයක අපූරුව...”

ඔළුව කුරුවල් වෙච්චි මට නින්ද යනවා. ඔන්න පහුවදා උදේ පහ විතර වෙද්දි අම්මා මාව කූද්දනවා.

“චූටි..චූටි...චූටි ... නැගිටපං .. තව ටික වෙලාවයි අවුරුද්ද ලබන්න.. රේඩිවෙක දාපං “
ආය අපේ ගෙදර බිච්චි ඔල්ලෝසුවක් තිබ්බ එකක්යැ.

“චොරෝස් ..චොරෝස්... “

“මහනුවර සේවේ දාපං ඒකේ වෙලාව කියනවා.”

“මහනුවර සේවය..ශ්‍රී පුෂ්පදාන මාවත .. මහනුවර .. නව අවුරුදු උදාවට හරියටම තව විනාඩි තිස්තුනයි..”

“ආ තව වෙලා තියනවනේ ... ආච්චිට කතා කරපං.. අතපය හෝදං වරෙන් ඇලට ගිහිං”

අම්මා අලුත් මුට්ටියට අපේ බටු වැස්සිගෙන් ඊයේ හවස දෝපු කිරි පුරවලා ලිපට දර දාලා කුප්පි ලාම්පුව ලිප උඩින් තියලා නැකැත් එනකන් බලාගෙන ඉන්නවා. ආච්චිත් ඉහෙන් කනින් පොරවගෙන කුස්සියට එනවා.

“දන්සිරියයි... මන්තිරියයි කසිප්පු බීලා මං එද්දි පල්ලැහැ මිදුලේ වඩුබංකුව ලඟ බුදි..”

“ඔන්න ඔහේ කමන්නෑ.. මේ ටිකේ අවුරුදුනේ .. ඔය චූටියා ගැන ඇහැ ගහගෙන ඉන්ඩ ඕනි. කොයි වෙලේත් දන්සිරියා පස්සේ”

“ ඔව් අලුත් අවුරුදු උදාවට හරියටම තව විනාඩියයි.”

“තත්පර පනස් අටයි..”

“තත්පර පනස් තුනයි”

“තත්පර තිස් නමයයි”

“තත්පර දොලහයි”

“තව තත්පර දෙකයි”

“ඔව් දැන් අවුරුද්ද උදා වුනා”

මම එලියේ කඳුර අයිනේ දිගඇරලා තිබ්බ රතිඥ්ඥා පැකට්ටෙකට ගිහිං ගිනි තියනවා. ඔන්න එතකොට අහල ගම් හතේම රතිඥ්ඥා හඬ රැව් පිළිරැව් දෙනවා. හොබරැල්ල කන්ද .. හුරිහෙල කන්ද ... නාරංගල කන්ද ..සැන්ජේමිස් කන්ද කියන කඳුවල ගැටුනු රතිඤ්ඤා හඬ දෝංකාර දෙනවා.

මම දූවගෙන ඇවිල්ලා කුස්සියේ අලුත් ගොම පොලොවේ දනගහලා ආච්චිටයි අම්මටයි වඳිනවා. ලිපේ දර ඇවිලෙද්දි අලුත් ගොම ඇවිලිලා අමුතු කුයිලකින් මුලු ගේම පිරෙනවා.

“ආහාර අනුභවය ගණුදෙනු කිරීම හා වැඩ ඇල්ලීමේ නැකත අටයි දහයටයි යෙදී තියෙන්නේ”

රේඩුවෙකේ නිවේදකයා කියාගෙන යනවා.

“චූටි ඕක වහපං තව වෙලා තියෙනවනේ”

ඔය නැකත තමයි ඉතිං කාට නැතත් අපිට වැදගත්ම නැකත. වැඩ ඇල්ලීම නැතත් කමක් නෑ වැදගත්ම වෙන්නේ ආහාර අනුභවයයි..ගණු දෙනු කිරීමයි.
අපි පොඩි එවුන්නේ ගණු විතරයි.. දෙනු නෑ...

ආච්චිත් චීත්තේ ගැටේ දිගඇරලා සල්ලි අතින් නොඅල්ලා ඇස් කරකෝ කරකෝ බලනවා. මම හිතන්නේ මට කීයක් දෙනවද කියලා කල්පනා කරනවා ඇති. ඇයි යකෝ අවුරුද්දම ආච්චිගේ සුදු කොන්ඩෙ ඉන්න සුදු මකුණෝ සයිස් උකුණෝ ඇහිඳින්නේ මේ චූටියානේ.. ඕකට කලගුණ සලකන්ඩ එපැයි ඉහලින්ම ...

 (අන්තිම කොටහ වලියකින් කෙලවර වෙයිද ?)





10 comments:

  1. Replies
    1. තැන්කිව් ... ඔබලාගේ බ්ලොග් බලන්නත් කොමෙන්ට් කොටන්නත් මට බ්ලොග් ලියන්නත් අවිවේකී රස්සාවක වෙලී සිටිමි...

      Delete
  2. Replies
    1. එළකිරි x 2 ‍= ටිංකිරි

      Delete
  3. හප්පේ යං තං ලියල තියෙන්නෙ මේක.

    //මාත් ඉතිං කෙහෙල් ගහ මුලට සෙනිකව ගිහිං කරුවලේම මූඩිය කරකවලා ගුඩුස් ගුඩුස් ගාලා සොට් දෙක තුනක් හලාගන්නවා//
    නරකම නෑ වැඩේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ... ඔබලාගේ බ්ලොග් බලන්නත් කොමෙන්ට් කොටන්නත් මට බ්ලොග් ලියන්නත් අවිවේකී රස්සාවක වෙලී සිටිමි...

      Delete
  4. ඔය එවරෙඩි පූස පැනල ගියත් හරි තාම හරිහමං බැටරියක් නෑ ලංකාවෙ.

    ReplyDelete
    Replies
    1. පුක දියන් පොන්නයෝ

      Delete
  5. \\මාත් ඉතිං කෙහෙල් ගහ මුලට සෙනිකව ගිහිං කරුවලේම මූඩිය කරකවලා ගුඩුස් ගුඩුස් ගාලා සොට් දෙක තුනක් හලාගන්නවා. පස්සේ පේර ගහෙන් කොලයක් කඩලා කටට දාගන්නවා.\\

    මේකට තමයි මූ දන්සිරියට ඵුල් සප් එක

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ... ඔබලාගේ බ්ලොග් බලන්නත් කොමෙන්ට් කොටන්නත් මට බ්ලොග් ලියන්නත් අවිවේකී රස්සාවක වෙලී සිටිමි...

      Delete